Follow by Email

Monday, July 10, 2017

තොරණ හෙවත් pandol - 1

"මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?"

කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව.

"ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ"

"තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ."

"ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ"

"ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන මාහිතේ."


"ඔව් මාහිතේ විසි දෙකද්ද කොහෙද?"

"බලුපුත් දාස් ගානක් තිවුන කියල අපේ පුතා එහෙම කිව්වෙ"

"එහෙනං ඉතිං. එකට එකක් හේත්තු වෙන්නම බලුප් එපෑ"

මේ වෙලාවට ගුනවද්දන මාමට කට වහගෙන ඉන්න අමාරුයි.

"චෑ....... මේ වෙදා ගහන තොරන නං කිසියම්ම කිසි කමකට නෑ. බලුප් උනත් බාගෙට බාගෙයක්ම පත්තු වෙන්නෑ. ආං ඒ වගේද කහවත්තෙ තොර්න."


තමුංගෙ තාත්තා නලාව පිඹින හැටියට නයා පෙට්ටියෙං එලියට එන්න මහ වෙලාවක් නොඑන බව දැනිලා නිමල් අයියා ඉඳං හිටි තැනිං නැගිටලා කඩේ ඉස්තෝප්පුව පැත්තට යනවා.

"හැබ්බෑට....."


අපේ ආතා ගුනවද්දන මාමට සපෝට් එකක් දෙනව. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී.


"එහෙනං මාමෙ. ගුරුගේ මුදලාලිගෙ තොර්න තමයි තොර්න. මා හිතේ කොළඹවහ්නෑ ඒ සා විසාල තොරනක්."


"අනිච්චං"

"ඔවූ... දැං මේ වෙදෑ තොරනෙ පුවක් කොට හතර පහකින්නෙ එක්කොම රඳා හිටින්නෙ. අරකෙ හිටවන්නෙ මයෙ මේ කකුලක් තරං හිටී එක්කොම යකඩ කඳං. එක කඳ හිටී මේ හරියෙ අර පාරෙනුත් එහා පැත්තෙ තරම දිගට"


ආතා සරමෙ ඔඩොක්කුවෙ තියෙන පුවක් ලෙලි ටිකයි කුරුටු ටිකයි දොරකඩ රඹුටං ගහ මුලට හලනව.

"කොටිම්ම බුද්ද පිලිමෙ හිටී කලවම්පංසලේ විහාර ගෙයි පිලිමෙ ඉතර. ඉතිං හිතාගන්නකො තොරනෙ රයිස්සෙක"


"ආ............"


"මං අර එක වංගියක් අපේ දූලෑ ගෙදර හිද්දි දූලෑ වදේ බැරිකමට ගියා කාරෙකෙං කහවත්තෙ තොර්න බලන්න. මං ඉස්සරහ සීට්ටෙකේ ගියෙ. මා හිතේ කහවත්තට හැතැක්මක් තරම දුර තියා තොරනෙ මුදුනෙ බුද්ද රූපෙ පේනව."


"අනිච්චං අප්පෙයි"


"ඒකට ගේන ලැයිට් ඇංජිම හිටී මේ ගේ ඉතර. බලුප් නං ඇති ලස්ස ගානක්."


"ඇත්තට........"



"තොර්න කිට්ටුවට ගිහිං නං ඒක බලන්න බෑ මාමෙ. බෙල්ල උලුක්කු වෙනව. මේ හරියෙ තොර්න තියේ නං පීටර ලෑ ගෙවල් හරියෙ ඉතර ඉඳං බැලුවං තමයි හරියාකාරව පේන්නෙ."


"ඒ තරං විසාලෙට හිටීද?"


"නැහ්නං මාමෙ. ඔය මනුස්සයනෙ මා හිතේ ලංකාවටම කෝටිපතිය."


මේ කතාවෙන තොරණ උප්පත්තිය ලබන හැටි බලන්න සෙනසුරාදා පොල දවස වෙනකං ඉන්න වෙනව. සෙනසුරාදා පොලට ගිහිං එක අතක බඩු මල්ලක් අරගෙන අනික් අතිං නංගිව කිහිල්ලෙ උලගහගෙන පොලෙං එලියට එන අම්මගෙ පස්සෙං තවත් බඩු මල්ලක් අරගෙන අනික් අතේ තියෙන කවරෙ තියෙන බොම්බයි මොටයි ටික බඩට පුරෝන ගමං මාත් බස් ඉස්ටෑන්ඩෙක දිහාවට එනව. ඒ එන ගමං වටපිට බලනකොට බස් ඉස්ටෑන්ඩෙකේ කෙරෝලකට වෙන්න හිටෝපු උස පුවක් ගස් දෙක තුනකුත් ඒවයිං උසම එකේ මුදුනෙ හයිකරපු බෞද්ධ කොඩියකුත් මට පේන්න තියෙනවා. ඒ එක්කම කහපාට ඉටි රෙද්දක ඇඳපු දැන්වීමකුත් කොහු ලනු පොටවල් හතරකිං ඒ පුවක් ගස්වල ගැටගහලා තියෙනවා.



මේ දැන්වීම කියවන්නයි පුවක් කොට ගාන ගැනගන්නයි මට අතේ තියෙන කවරෙං බොම්බයි මොටයි කෑම නවත්තලා විනාඩියක් විතර බලං ඉන්න වෙනවා. ඒ අතරෙ,


"කොලුවෝ.. ළමෙයෝ.... යකෝ... බූරුවෝ... හකරෝ.... ගල්බිල්ල වගේ බලා ඉන්නෙ.... මෙහෙවර.... තෝ මොකද්ද ඔය කොරන්නේ"


ආදී වසයෙං මට කියන සේරම නංවලිං අඩගහන්න අම්මට සිද්ද වෙනවා. මුලු බස් ඉස්ටෑන්ඩෙකේම ඉන්න මිනිස්සු මේ නං බර ගානකිං හැදින්වෙන අරුම පුදුම ලමයා දිහාත්, ඒ ළමයව දක්කන අම්මා දිහාත් බලනවා. අන්තිමට මාව‍ හරි සිහියට ගන්න බඩුමල්ලයි නංගිවයි දෙන්නම අරගෙන ආපහු ඇහිල්ලා මගෙ දනිස්සට පයිං එකක් ගහන්න අපෙ අම්මට සිද්ද වෙනවා.


පහුවදා හවස ආතගෙයි ගුනවද්දන මාමගෙයි කෙබර මඩුව මැද්දට ඒ විස්තරේ අතාරින්න මට පුළුවං වෙනව.


"ආතේ අන්න තොරණ ගහනව කියල පුවක් කොටං ටිකක් හිටෝල තීනව ඉස්ටෑන්ඩෙක ගාව අයිනෙ"


"උඹ කොහොමද්දන්නෙ"


" මං දැක්කනෙ පුවක් ගස් දොලහද්ද කොහෙද හිටෝල තීනව. ඒකෙ හුගක්ම උස පුවග්ගහේ මුදුනෙ බවුද්ද කොඩියක් ගහලත් තීනව. ආයි ඉටිකොලේක ලියපු දැන්නීමකුත් තියෙනව. මේ යසවර්දන ඉලෙක්ටිකල් කියල කෙනෙක්ලුනෙ තොරණ හදන්නෙ. වෙදෙක් නෙමෙයි"


"යසවර්දන කියන්නෙ වෙද මහත්තෙය තමා. ඒ මිනිහ ඇර වෙන කවුද තොරං ගැහිල්ල දන්නෙ වෙන"


"එයා වෙදකං කොරන සල්ලි ඔලින්ද ආතෙ තොරං හදන්නෙ?"


"ඒ යකාට වෙද මහත්තයා කිව්වට මිනිහ දන්න වෙදකමක් නෑ. ගෙවල් වෑල්ඩිං කොරන එකනෙ මිනිහෑ රස්සාව"


"එහෙනං ආතෙ එයාට වෙද මහත්තය කියන්නෙ?"


"ඒක උඹ ගිහිං ඒ මිනිහෑංම අහපං."


ආතා මාව එලෝගන්නව. ඒ වුනාට සතියක් ගානෙ පොලේ යන ගමනුත් ඒ අතරෙ සමහර දවස්වලට අම්මටයි, නංගිටයි, මටයි සැරිං සැරේට කැස්සටයි ඇදීමටයි බෙහෙත් ගේන්න යන ගමනුත් මං තොරණෙ විස්තර ගෙනැත් ආතගෙ කනේ තියනව.


"දැං හරහටත් ලීත් බැඳල ප්‍රස්තාරෙයක් වගේ"


"පිටිපස්සෙනුත් කනු හිටෝලා දෙපැත්තටම ලී බැදලා. මිනිස්සු ඒවෑ නැගල වැඩ."


"මුදුනෙම්ම බුද්දරූපෙයක් එල්ලලා. ඒක සුදු රෙද්දකිං වහලා. යට හරියෙ කකුල් දෙක ඉතරක් පේනව"


"එක පින්තූරෙයක් එල්ලලා. ඒකෙ කොණ්ඩෙ බැදපු මිනිහෙක් වතුරෙ පීනනව. සාරියක් රෙද්ද වගේ ඇඳලා බොඩියකුත් ඇදපු ගෑනියෙක් ඒ මිනිහෑ පිටේ නැගල ඉන්නව"


"තොරං ඔල එහෙම පින්තූර එල්ලන්නෑ. බොරු නොකිය පල යන්න"


ආතා මාව එලෝනව. ඒ වුනාට මං ඊළග සතියෙත් වාර්තාව අරං එනව.


"තොරණෙ පින්තූර එල්ලල ඉවරයි. දැං බලුප් හයි කරනව."


"බලුප් හයිකරල වියරයි. දැං මිනිස්සු වැඩ කරන්නෙ තොරනෙ පිටිපස්සෙ. ඒ පැත්ත පලාතට අනික් ඈට යන්න දෙන්නෑ."


තොරණ හදල ඉවරවෙලා තවත් දවස්ගානක් යනකං ඒ මිනිස්සු තොරණ පිටිපස්සෙ වැඩ කරනවා. මේ අතරෙ පොල පිටිපස්සෙ පොලට එන ලොරි නවත්තන පිට්ටනිය වගේ ටිකේ තව මිනිස්සු වගයක් දිග ලැලි වගයක් එකට එක හේත්තුවෙන්න රවුමට තියලා තවත් මොකද්ද එකක් හදනවා. මං ඒ විස්තරෙත් ගෙදර ඇවිල්ල ආතට කියනව.

“ආතෙ අර පොලේ සිරිපාල ආතෑ ලොරිය එහෙම නවත්තල තියන හරියෙ මිනිස්සු කට්ටියක් එක්කහු වෙලා දිග ලැලි ටිකක් වටේට හිටෝල ඉස්පංචියක් වගේ එකක් හදනොව.“


“මොන ඉස්පංචියද්දැ“

“අර රැලි රැලි තියෙන කොලෙයක් අලෝපු ජාතියක් තියෙන්නෙ. නිකෝඩහන්දියෙ දරුමසේන මාමෑ කඩෙත් තියෙන්නෙ. අර මිනිස්සු කහට බොද්දි එහෙම කන්නෙ. ආං ඒ වගේ විසාල එකක් අතන හදන්නෙ. සෑහෙන දිග ලැලි ඔලිං. අපේ ගෙදර කුස්සියෙ දොරේ ලැලි වගේ හත්තට සැරෙයක් දිගයි එයිං එක ලැල්ලක්“


“අනේ මට තේරෙනේකහ්නෑ උඹේ ඔය කියුං“


ආත මාව අහක දානව.


තොරණ පටං ගන්න තව දවස් දෙක තුනක් තියලා ටවුමෙ වහල දාලා තියෙන කඩ දෙකක් ඉස්සරහ ඉටිකොළවල ලියපු දැන්නීම් දෙකක් තියෙනවා.


අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය
ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ


අනික් කඩේ ඉස්සරහ තව රෙද්දක ලියපු දැන්නීමක් තියෙනව. ඒ දැන්නීම ලස්සන වෙන්න තරු, මල් එහෙමත් ඇඳලා.

ඉන්ද්‍රජාල මැජික් බලයෙන් 
අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.
ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ


මේ විස්තරත් ආතට නොකියා ඉන්න එක හරි නෑ. ඒ හංදා ආතා හැන්දෑ වරුවෙ ඇඳ උඩට වෙලා සැරිං සැරේ හෝන් ගහන ගමං නිදාගෙන ඉන්න වෙලාවට මං ආතව ඇහැරෝනව.


"ආතෙ ආතෙ... මේ ගමන තොරං දවසට අඟහරු ලෝකෙං කුරුමිට්ටොත් එනවලු."


"අනෙප්පලයං යන්න කෙබර නොකිය"


"බොරු නෙමෙයි. අර පැසං සුනිල් මාමෑ කඩේට එහාපැත්තෙ ජෑටිං මාමෑ කඩේ තිවුණ තැනට ගෙන්නනව කියන්නෙ. දැම්මම බෝඩ් හිටං ගහල"


"අඟහරු ලෝකෙං කොහොමද බං කුරුමිට්ටො ගේන්නෙ. යංතං හඳට යන්නප්පුලුවං ඇමරි කං කාරයන්ට ඉතරයි."


"ආයි ඒ ඉස්සරහම හොරණ කඩේ ඔලුවක් කතා කොරනව පෙන්නනවලු."


"ඔලුවෙං මිසක් ඉතිං *** කතා කොරන්නයැ."


"අත පය, කඳ කෑලි නැති මිනිහෙක්ගෙ ඔලුවක් ඉතරක්නෙ කතා කොන්නොව කියන්නෙ"


"නාවලවත්තෙ කට්ටඩි ළමයෑ තාත්තනං මිනී ඔලු කතා කෙරෙව්ව ඉස්සර. ඔතනත් එහෙනං එහෙම වෙන්නැති. පළෙයං යන්න මට ඩිංගක් ඇහැ පියාගන්න දීල"


ආත මාව ආයිමත් එලෝනව.


*******************************************************************************

ලොකු අය කවුරුවත් තොරණ බලන්න යන්න කැමකි බවක් පෙන්නන්නෑ. හැමෝම ඒක පටවන්නෙ පොඩි ළමයින්ට.


"මුංගෙං කරදරේ බේරිල්ලක් නෑ. පස්සෙ මුංගෙ මහ එකා කිව්වා අන්තිම දාසට යං කියල"


චන්දරෙ මාමලෑ නැංදා අපේ අම්ම එක්ක දොලේදි කියනව.


"ඒක තමා, මේ මූටත් යන්නම ඕනි කියල නහින්න හදනොව. පස්සෙ මුංගෙ තාත්ත දුන්න දෙකක් වේවැලෙං. දැන්නං මීක් කියන්නෑ"

අපේ අම්මත් කියනව. ඒ කියන ගමංම තොරණ බලන්න යන දවස් ගැනත් කතාවෙනව.


"අන්තිම දාසට ඉස්සෙල්ල දාසෙ යං අක්කෙ. අන්තිම දාසට සෙනග වැඩියි."


"ඔව්වොව්. මුලිම්මුලිං දවස්සොල බලුප් එක්කොම පත්තු කොරන්නැහ්ලු."


ඔය විදිහට කතා කරගෙන අහලපහල ගෙවල් තුන හතරක අය එක්කහු කරගෙන අපේ ගං මණ්ඩියෙ හැමෝම එක දවසෙං තොරණ බලන්න යන්න කතාවෙනව.






Sunday, July 2, 2017

කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls

"අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි."

ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්‍රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් පෑදුවෙ අපේ බට්ටා. මාසයක්වත් නොතිබිච්චි බ්‍රොයිලර් වර්ගයෙ ලව් එහෙකිං පස්සෙ ලව්වෙකක් කරලා නවත්තපු අයියෙක් තත්වෙට ආපු බට්ටව දැක්කම අපේ ඇසුත් ඇරුණා. පහේ පන්තියෙ එකෙක් තරං පෙනුම ඇති බට්ටටත් කෙල්ලෙක් කැමති උණානං අපි තවදුරටත් පරක්කු වැඩි නැද්ද කියලා අපිට හිතුනා. ඒ හංදා අපි දෙකට නැමිලා බෙල්ල හරෝලා අපේ දිහාම බලලා "ඇයි අපි කලුද" කියලා හිතුවා. අන්න එතකොට අපේ ඇස් ඇරුණා.


"නෙදකිං"


අපේ ඔලුගෙඩි සේරම එක වල්ලෙ පොල් වගේ. සේරම කපුටු කූඩු. හැබැයි බුතලයගෙ කොන්ඩෙ වෙනම විදිහක්. උගෙ කොණ්ඩෙ විතරක් පැත්තෙං බැලුවහම සින්බෑඩ්ගෙ වගේ. අපේ කොණ්ඩෙ ඔලුව වටේට ගොයං කොලයක් වගේ තියෙද්දි බුතලයගෙ කොණ්ඩෙ ඉස්සරහිං උඩට නමල ආපස්සට අරං කොන්ක්‍රීට් දැම්ම වගේ ගල්ගැහිල හිටින්න හදල. අපි වලහැඩි වගේ ඉඳිද්දි ඌ විතරක් අපිට ද්‍රෝහි වෙලා කියල අපිට තේරුණා. අපි වහාම ඒ වරද හරිගස්සගන්න හිතුවා.

මෙතන ගොයං කොල දෙකක්ම තියෙනවා


අපි වෙනදට කොණ්ඩෙ කපනව කියන එකෙන් අදහස කලේ ගමේ තියෙන බාබර සාප්පුවෙ හංකඩ කතුරෙං කොණ්ඩෙ අල්ලලා උගුල්ලවගන්න එක. පන්සල ගාව බාබර සාප්පුවෙ සිරිල් කොණ්ඩෙ කපන ක්‍රමේට දැං කාලෙ කොණ්ඩෙ කපනවනං ඊට කලිං ඔලුව හිරිවැටෙන්න බෙහෙත් විදින්න ඕනැ. පනාවෙ ඝනකමට කොණ්ඩෙ මට්ටං කපන ගමං

"මේ ළමයෑ කොණ්ඩෙ ඝනකං වැඩියි. ඇට්ටර ඇති හරී.............යට ඒකයි. කතුරත් හංවෙනව මේ වැඩෙං."

කියල කතුරෙ මැද දෙමං හන්දියෙ පැටලිච්චි කෙස් වල්ලක් අමු අමුවෙ ඇදල දානව. එයිට පස්සෙ කන දෙපැත්තෙයි බෙල්ලෙයි කෙස් ටික දැලිපිහියෙං ගාන්න ගිහිං

"ඔය ඉතිං හෙල්ලුවනෙ"

කියලා කන දෙපැත්තයි, බෙල්ලයි ප්ලාස්ටර් ගහන්න වෙන තරමට කපා දානව. දෙමව්පියන්ව සන්තෝස කරන්නයි ගුරුවරුංට අල්ලගන්න ලේසිවෙන්නයි ගෙදර පොල්තෙල් බෝතලේ ඉක්මනට ඉවර කරන්නත් ඕන හංදා කොන්ඩෙ ඉස්සරහිං අවිච්චි පෙඳෙයක් වගේ කොටසක් පීරන්න කියලා ඉතුරු කරනව. මගෙ කොණ්ඩෙ අගිස්ස එහෙම ඉතුරු කරහම කෙස්ගස් ටික ඉදලක් වගෙ විහිදිලා ගිහිං මගෙ ඔලුවෙ පැත්තක් පැලවෙලා වගේ පේනව. ඒ ටික පැත්තට පීරලා හදාගන්න තට්ටෙ ගෑවත් බෑ කියලයි සිරිල් කියන්නෙ. ඔය විදිහට කපන කොන්ඩෙ තව මාසයක් විතර යනකොට ආයිමත් වැවිලා ඔලුව වටේ සමානව බෙදිල ගිහිං අපේ ඔලුගෙඩි පැහිච්ච පොල්ගෙඩි වගේ වෙනව. ආයිමත් ඉතිං පනපිටිං කෙස් ඉගිල්ලීමේ කටයුත්තට යනව.


ඒ කොණ්ඩෙ කැපිල්ල කොලුකමට ගැලපෙන්නැති තැන අපි බාබර් සාප්පු අතෑරලා ටවුමෙ තියෙන සැලුන්එකට ඇදුනා. සැලුන්නෙකේ පෝලිම ඉඩ මදිවුනහම පාර දිගෙත් පෝලිමේ හිටියා. පොල්ගෙඩි වගේ ඔලුගෙඩි එක්ක සැලුන්නෙකට ගිය අපි උඩිං ඉතුරුකරලා වටෙං කොට කරපු කූඤ්ඤ වගේ ඔලුගෙඩි එක්ක එලියට ආවා. අපේ අමුතුම කොණ්ඩ කැපිල්ල දැකපු මව් දෙමව්පිය නෑදෑ සනුහර අහල පහල ගුරු දෙගුරු කියන අටවනක් පිරිස අපේ ඉහටිය කන්න පැන්නා.


"ඉලන්දාරිකම ඉහට ගහල. මුං හිපියො වෙන්නද කොහෙද යන්නෙ"


"ඉවරයි. මුංව කීකරුකමට හදාගන්න බැරියුනානෙ. දැං ඉතිං ගමේ කෙල්ලෙක් තියා නාකි ගෑනියෙක්කත් පාරෙ ගිහිං වියරයි. මුන්ට විසේ ගහලනෙ ඉහට"


ඒවට කීකරු වෙනවට වඩා අපේ කොණ්ඩෙ කීකරු කරගන්න එක අපිට ගැටළුවක් වෙලා තිබුනෙ. ඒකට පිලියමක් විදිහට බුතලයා ගාන කොන්ක්‍රීට් ආලේපෙ තියෙන කඩවල් හොයාගන්න අපිට පුළුවං උනා. දොදොලක් වගේ ලෙලදෙන පුදුමාකාර පුසුඹක් තියෙන ජෙල් කියන ජාතිය ගන්න මාලුපාං දහයක් කැප කරන්න අපිට සිද්දවුනා. ඒ කැපකිරීම අපතෙ ගියෙ නෑ. ජෙල් තලියක් ගෑවම උණ පඳුරක් උනත් ඕන හැඩේකට නමලා තියන්න පුළුවං කියල අපිට තේරුණා. වරුනා උගෙ කොන්ඩෙ දෙකට මැදින් බෙදලා දුවනකොට උඩ විසිවෙන කොණ්ඩ පලු දෙකක් හදාගත්තා. මාත් මගෙ කොණ්ඩෙ වමට හරෝල පීරුවා. වෙනදට කලාමැදිරිය කාපු ගොක් අත්ත ඉහිරුණා වගේ දිගෑරෙන මගෙ සුලිය වටේ කෙස් ටිකත් යහමින් ජෙල් ගාලා දෙකට නමලා අඹරලා වම්පැත්ත බලා යන කෙස් ගංගාව අස්සට රිංගවලා තලලා මට්ටං කරහම මගෙ කොණ්ඩෙට ටිංටිංගෙ තිවුනු නෑකම නැතිවෙලා ගියා.

ටිං ටිං


ඔලුවෙං පහලට බහිද්දිම තව අඩුපාඩුයි. ඇඳුං මහන තැනිං කමිසෙ මහල දෙනකොට කමිසෙ පිටේ ඉතුරු කරල දෙන ඉරි දෙක හොයාගන්නවත් බැරි විදිහට ඉස්තිරික්කෙ විසින් මකා දමලා කියල අපිට තේරුණා. ඒ නැතිවෙච්චි අයිතිය දිනාගන්න අපි ආපහු ඒ ඉරි දෙක තිවුණු විදිහටම නමල මැදලා හන ගැහුවා. සමහරු පරණ ඒවට හරියන්න කමිසෙ අටට නමලා පිට මැද්දෙ අටපට්ටං මකුලු දැලක් හැදෙන්න මැද්දා. 


කලිසමෙං තුනටියට බහින්න ලැබුනෙ නෑ. කලිසම එහෙම පිටිම්ම සරමක් වගේ වෙලා කියල අපිට පෙනුනා. ඉස්කෝලෙ මහත්තුරු අඳින ජාතියෙ මහත්තය කලිසං අඳින එක නාකි පාටට අපිට පෙනුනා. අපි ඇඳුං මහන තැන වෙනස් කලා. තැන වෙනස්වුනත් එක්කම අපේ යටිකයට අලුත් හැඩයක් ලැබුනා. වෙනදට කලිසමේ රෙද්දත් ඇඟත් අතරිං තව කෙනෙක්ට හිටගන්න තරමට ඉඩ තිවුන කලිසමේ උඩ කොටස අපි පොඩිකාලෙ ඇඳපු කලිසමක් තරං පොඩියට මැහුනා. ඒ කලිසමේ ඉන තුනටිය ගාවට ගන්න දරුණු කිරිපනු රෝගියෙක් දඟලනව වගේ දඟලන්න අපිට සිද්දවුනා. කාසියකට උඩිං කඩදාසියක් තියලා කාසිය අච්චු ගහගන්නව වගේ ඕන නං කාටහරි කෙනෙකුට අපේ කලිසමට උඩිං බලලා ශරීරාංග තිතටම ලකුණු කරන්නත් පුළුවංකම තිබුනා.


කලිසමේ දනිස්සට පහලිං කොටහ එයිට උඩ කොටහෙ හතුරෙක් වගෙයි හිටියෙ. උඩ ටිකටත් හරියන්න පහල ටික බුරුලට තිබුණා. කලිසමේ අඩියම හරිය සපත්තුව වහගෙනම යන තරං ලොකුවට තිබුණා. ඔලුවෙං හිටගෙන අත්දෙකෙං ඇවිදින කෙනෙක් හිටියනං. ඒ කලිසමේම යටි පැත්තෙං කකුල්දෙක දාලා අඳින්න පුළුවංකම තිබුණා. මේ අරුම පුදුම කලිසමත් ගුරුවරුංගෙං, ගෙවල්වල අයගෙං, අහල පහල අයගෙං සෑහෙන අවලාද ඇහුවා.


"මුංගෙ තට්ටං මැස්සො බීලා. කකුල්ඔලට බරව හැදිලා"


"මිනිහට කලිං කලිසමේ අඩිය යනවා"


වෙනදට සපත්තු දෙක රතු ලැටරයිට් පස, කලු පැහැති ලෝම පස ආදී පස් වර්ග වලිං ඕනෑම එකක නියැඳියක් ගන්න තරං උඩ යට දෙකම පෝසත්ව තියාගත්තත් කොල්ලෙක් වසයෙං සපත්තුව හාප්සීට් එකක් තරං සුදට තියාගන්න ඕන වෙනව. ඒ හංදා අපි වැරදිලා හරි අපේ සපත්තුවක් යන්තමට හරි පාගන එවුන්ට දෑත බදලා කොන්ද හරහා යන්න සැලකුවා.


පොත් බෑග් එකේ පොත් දාගෙන පිටේ එල්ලගෙන යාම බාලාංස පන්තියෙ වැඩක් තත්වෙට පත්වුනා. අපි කොල්ලො වසයෙං පොත් ටික අතේ තියාගෙන යන්න පුලුවංකම හදාගත්තා. වෙනදට පිටු එකසිය හැටේ පොත්වල ලියපු අපි පිටු අසූවෙ පොත් වලට තැන දීලා අල්ලට ගැලපෙන පොත් කට්ටලයක් හදාගත්තා. පන්තියෙ ඉඳගනිද්දි වුනත් පුටුවට ලේන්සුවක් එලලා ඉඳගැනීමෙං කලිසමේ පස්ස පැත්තේ සාක්කුවල කුණු ගැවීම නවත්තගත්තා. පුටුවල ඇන්දට හේත්තු නොවී බංගුවෙ ඉඳගත්තා වගේ ඉඳගත්තම කමිසෙ පොඩිවෙන එකත් වලක්වගන්න පුලුවං වුනා.


වෙනදට බස් එකේ අැතුලෙ සීට් එකක් ඉඳගන්න පොරකාපු අපි බස් එක අද්දනකොට දුවලා ගිහිං පුට්බෝඩ් එකේ එල්ලෙන්න පුරුදු වුනා. තනි අතිං පුට්බෝඩ් එකේ එල්ලිලා අනික් අතෙං පොත් ටිකත් අතේ තියාගෙන පුට්බෝඩ් එක පිසගෙන හමායන හුළඟට ඔලුව ඇල්ලුවහම තරුණ ජවය අපේ කෙස්ගස් අස්සෙං ගලාගෙන යද්දි බස් එකේ කොන්දොස්තර වෙලා හිටිය පියසේන මාමා බලියන්න පටංගත්තා.


"තමුසෙලා පුට්බෝට්ටෙක පල්ලෙ වැටිලා මැරුණහං පස්සෙ අපිට තමයි පොලිසි යන්න වෙන්නෙ"


"අනේ ලමයිනෙ පිංසිද්ද වෙයි දොරෙං උඩට වෙනවලකො"


ඉස්සරහ දොරෙත් පිටිපස්සෙ දොරෙත් අපි වගේ තරුණයො දුසිං දොලහක් විතර එල්ලගත්තු බස්සෙක මූනෙ පැත්තක් ඉදිමිච්ච මිනිහෙක් වගේ වමට ඇලවෙලා පාරෙ යද්දි අපිට ඉහළ පන්තිවල අයියලා අපිට ඉඩදීලා බස්සෙක ඇතුලට ගිය කාරණාව හොයාගන්න අපේ ටිකිරි මොළ ටිකට තව සති ගානක් ගියා. ඔව්, ඒ අයියලා අපේ පන්තිවල හිටපු ගෑනු ළමයි බස්සෙක ඇතුලෙ ඇදගෙන වැටෙයි කියලා ඒ අයට පිටිපස්සෙං හිටගෙන ආධාරක සපයාගෙන හිටියා. සමහර වෙලාවට ඉස්සරහ පැත්තට වැලමිටෙං ආධාරයක් දීගෙන හිටපු අයත් හිටියා.


අපි අපේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තම තමන්ට ගැලපෙන අන්දමේ ගෑල්ලමයි හොයන්න පටං ගත්තා. වැඩි කලක් නොගිහිං අපේ වරුනාට කොණ්ඩෙ බොක්කට් කපාපු නංගියෙක්ගෙ ආස්සරේ ලැබුණා. උං දෙන්නට වැඩිය මුණගැහිලා කතා කරන්න තැනක් තිබුණෙ නෑ. ඒ හංදා දෙන්නා අතර පණිවිඩ හුවමාරුව කෙරුණෙ තවත් කීප දෙනෙක් හරහායි.

උගේ කෙල්ල මුලිම්ම කලේ වරුනගේ ඇඟිලිවල ගාගෙන හිටිය කියුටස් ටික මකන්න අණ දීම. ඒකට ඕනැකරන තිනර් වගේ ජාතියකුත් ඒ නංගිම අපිට එවලා තිවුනා. වරුනගේ අමු තිත්ත කුණුහබ්බ වරුසාවක් මැද්දෙ අපි ඌව හතර මුල්ලෙං අල්ලගෙන උගේ නියපොතු ටික සුද්ද කෙරුවා. ඊළඟට වරුනගේ කරේ තිබුණු සුදු යකඩ මිනී ඔලුව තියෙන චේන්නෙක ඇතුළු අනික් නූල් කෑලි, පෙන්ඩන් එක්කොමත්, අතේ බැඳලා තිවුණ පටි, නූල් ආදී එක්කොමත් අපි ලව්වා ගලෝලා ඒ නංගිගෙ බාරෙට ගත්තා. කෙල්ලො කවුරුවත් ඒ වගේ එව්වට කැමති නැතුව ඇති කියලා හිතලා අපිත් අපේ ගාව තිවුණු ඒ වගේ සුකුරුත්තං සේරමත් ගලෝලා අහක් කරගත්තා. ඊළඟට වරුනගෙ කොණ්ඩෙ මැදිං නොබෙදා පැත්තට පීරන්නත් නියෝගෙ ලැබුණා.


"ඒ අහවල් එක ඇත්තිට ප්‍රජනනය කරගන්න කියපං. මට බෑ"

වරුනා එකහෙලාම විරුද්ධ වුනා. අපි වරුනාව බලෙම්ම අල්ලගෙන කෙල්ලංගෙ වතුර බෝතල්වලිං උගේ කොණ්ඩෙ හෝදලා අපේ ලේංසුවලිං පිහදාලා අපේ පුද්ගලික ජෙල් ටිං වලිං ජෙල් ගාලා වමට නමලා පීරුවා. එදා අපේ දෙමව්පියො අනුමෝදං කරගත්තු පිං බලෙං උන්දැලා ආයිමත් මේ මනුස්ස ලෝකෙට පය තියන එකක් නෑ කියලා අපිට තේරුණා.


මේ සුදුසුකං සේරම සම්පූර්ණ කරලා අවසන් උනාට පස්සේ වරුනාට හිර නැති කලිසමක් මහගන්න මාස ගානක සහන කාලෙකුත් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙ ගේට්ටුව පහුවුනාට පස්සෙ ඒ නගාගෙ ළඟිම්ම පස්සෙං එන්නත් කතා බහ කරන්නත්, බස් එකේදි ළඟ හිටගෙන යන්නත් වරුනාට අවසරේ ලැබුණා.


සුභ මොහොතිං වරුනගේ ලව්වෙකේ මංගල කතා බහ පටං ගන්න හිතාගෙන අපේ පන්තියේ කොල්ලො සේනාවම පිලිවෙතිං පෙලගැහුනා. වෙනදට ගාල කඩාගත්තා වගේ දුවන අපි පිලිවෙතින් පෙලගැහුනා.


"කෙල්ලො ඉතිං වනවනා හිමිංනෙ යන්නෙ බං. අපිත් වෙනදට වඩා පහුවෙලා යමල්ලා. නැත්තං අපිට පාරෙ බලා ඉන්න වෙනව."


අපි එහෙම හිතාගෙන බෙල්ලෙක ගැහුවට පස්සෙ ගාථා සේරමත් කියලා හීංසැරේ ඒ නගාගෙ පන්තිය ගාවට ආවෙ එයිට පිටිපස්සෙං ගමන පිටත්වෙන්න බලාගෙන. නගා නෑ. මං වහාම උංගෙ පන්තියට පැනලා


"කෝ බං **** නංගි"


කියල කෙල්ලෙක්ගෙං ඇහුවා.

"ගියා"


කියල උත්තරේ ලැබුණා.


"වර යන්න ඒකි ගිහිල්ල"

මං වරුනවත් ඇදගෙන ඉස්සර උනා. අපිට පස්සෙං බට්ටයි කලුවයි, ඊට පස්සෙං බලියන්නො ජෝඩුව, ඊට පස්සෙං තව දෙන්නෙක්, ඊට පස්සෙං තවත් දෙන්නෙක් වසයෙං අපේ පන්තියෙ රැලම අපේ පස්සෙං වැටුනා.  අපි ගේට්ටුව පහුකරද්දි **** ගෙ දුම් පාරවත් නෑ. දහපාලොස් දෙනෙක් ඉන්න අපේ පන්තියෙ සෙට්ටෙකම ටෙන්වීලර් එකක් වමෙං දාලා කෝච්චියක් ඉස්සර කරනව වගේ අනික් එවුං ඉස්සර කරගෙන වේගෙං ඉදිරියට ඇදුනා. අපි සෙට්ටෙක විදුලි වේගෙං ඇදෙනව දැකලා හතේ අටේ එවුං අපෙං මෙහෙම ඇහුවා.


"අයියෙ වලියක්ද"


"දහතුනේ එවුං එක්කද, ගාමිනියෙ එවුං එක්කද?"


"ඔය බට්ටවත් වලියට ගෙනියනවද"


ජීවිතේට වලියක් තියෙන අහලකවත් ඉන්නෙ නැති අපිට ගිනිග්තත රැවුලෙං බඹර චක්කර පත්තු කරන්න එන පොඩිවුන්ට උත්තර දෙන්න වෙලාවක් තිබුනෙ නෑ. අපි වෙනුවට උන්ට "වචන ස්වල්පයකින් ආමන්ත්‍රණය කරන්න" බට්ටා බාරගත්තෙ ඌ වෙනදටත් මීටර් සීය දුවලා පලවෙනියා වෙන හිංදයි.


මිනී පෙට්ටි සාප්පුව පහු කරලා ග්‍රාම සේවක කාර්යාලෙ ගාවට එද්දි වරුණගේ දිව එලියට ඇදිලා හති දානවා.

"මේකි බටකොළ ආච්චිගෙ ඉදලෙන්ද බං ගමං යන්නෙ"


බලියන්නො දෙන්නා මහ හයියෙං කෑ ගහනව.


"හැහ්...හැහ්.... හිමිං ....හැහ්.... යමං ...... ඉදිච්ච ගෙඩියෝ"


වරුනා අපිට මාලයාලං බාසාවෙං අමතද්දි මං උගෙ බෙල්ල වටේ ඔතන මකරා ඇඳපු ලේංසුව ඇදගෙන දිව්වේ ඒ ලේංසුව ඌ සෑහෙන පරිස්සං කරන එකක් බව දන්න හිංදයි. වරුනා ඩිංගක් වේගෙ අඩු කරන්න හදත්දි උගේ ලේංසුවෙං මගේ මූණ පිහින්න යන බව පෙන්නුවහම කවුද බෝයි දැකපු ජුන්ඩයියා වගේ වරුනා මරු විකල්ලෙං මාව අල්ලන්න දුවනවා. ලේන්සුවෙ පිහිටෙං වරුනව තැපැල් කන්තෝරුව ගාවට වෙනකං කන්ද හැල්මේ දුවවන්න මට පුළුවං උනා. අපේ අනික් කණ්ඩායමත් පාරෙ යන වාහනවලට වෙට්ටු දාගෙන අපේ පස්සෙං දිව්වා.

එතන ඉඳං බැලුවහම මීටර් සීයකට වඩා දුරිං බස් ඉස්ටෑන්ඩෙක පේනවා. රත්නපුරේ ඉඳං තව බස්සෙකක් එක්ක රේස් එකක් තියලා දිනපු බස්සෙක ඉස්ටෑන්ඩෙකට දානව වගේ වේගෙකිං වරුනගේ කෙල්ල හමුදා ඇඳුමෙ ඩිසයින්නෙක තියෙන බෑග්ගෙකත් කරේ එල්ලගෙන වමට කපලා බස් ඉස්ටෑන්ඩෙකට ගොඩවෙනවා දකින්න අපි දෙන්නටම පුළුවං උනා.


මගදි වචනයක් කතා කරන්න කුළුඳුලේ ලැබිච්ච චාන්සෙක ගහල ගිය වේදනාවට වඩා මෙච්චර දුරක් හති හලාගෙන දුවපු දිවිල්ලෙ අමාරුවට දාඩිය පෙරාගෙන දනිස් දෙකට අත තියාගෙන ඩිංගක් වෙලා හති ඇරපු වරුනා උගෙ කුළුඳුල් කෑල්ල වෙනුවෙං හිතේ උපං හැඟිම මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ඉස්සරහ මුදාහැරියා.


"මං ඔය *ස **තිගෙ අඬු දෙක කඩනව"

Sunday, June 18, 2017

චන්ඩි සහ බට්ටා

මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.


අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම සාමකාමී එවුං. වලියට නොයා ෂේප් එකේ ඉන්න ගමං “හෑන් පයිට්” කියන සෙල්ලමෙන් තමයි තමුංගෙ හයිය පෙන්නගෙන හිටියෙ. උං යටතේ හිටපු පුහුණුවන ශ්රේපණියෙ චන්ඩි උනත් වලියක් නැතුව වලි ඇදගන්න ගියෙ නෑ.  උං තමුංගෙ පන්තියෙ ඉන්න නෝංජල්ම එකා වෙනුවෙං උනත් පෙනී හිටියා. ඒ හංදා උංගෙ පන්තිවල හැමෝටම එක හා සමාන හයියක් තිබුණා. කොටිම්ම කෙල්ලො උනත් උංට මාර එකතුයි. 


අපේ පන්තියෙ හිටියෙ චන්ඩි දෙන්නයි. එකෙක් රංග අනිකා චමිල. උං දෙන්නට තිවුණු ලොකුම හයිය තමයි මහ හයියෙං කෑ ගහන්න පුළුවං කට. පන්තියෙ ඉන්න එවුං අතරින් තමුන් චන්ඩි කියලා ඉහළට එන්න උං දෙන්නා යොදාගත්තෙ ඒ හයිය. පන්තියෙ ඉන්න කොල්ලංගෙ ගෙවල්වල අය උන්ට කතා කරන නම හොයාගෙන ඒක පන්තිය පුරා ප්ර සිද්ධ කරන බව කියලා කොල්ලංගෙ රුපියල් පහ දහය කඩා ගැනිම උංගෙ එක චන්ඩි කමක්. තවත් සමහර එවුංගෙ ජීවිතේ අප්ර කට සිද්ධි පන්තියෙ කෙල්ලො ඉස්සරහ කියලා කෙල්ලංගෙ හිනාවට ලක්කිරීමත් උංගෙ එක චන්ඩිකමක්. පන්තියෙ කොල්ලො විතරක් දන්න රහස් විදිහට තිබුණු ‘බණ්ඩා අඳින්නෙ මල් ඇඳපු ජංගි බව’ වගේ සේරම රහස් ප්රොසිද්ධියෙ කියලා චාටර් කෙරුවාව හිංදා අපි සේරම චමිලයගෙයි රංගයගෙයි වචනෙට බයවෙලයි හිටියෙ. ඒ වුනත් සමහර දවස්වලට කෙල්ලො ඉස්සරහ බණ්ඩගෙ කලිසම ගැලවීම, බට්ටව කෙල්ලංගෙ ඇඟට තල්ලු කරලා උට ගුටි ඇන්නවීම, දවල් කෑමෙන් පස්සෙ ඉතුරුවෙන මොකක් හරි ඉඳුල් ජාතියක් කොල්ලංගෙ පුටුවල ගාලා ඒකෙං කලිසමේ හැදෙන කහපාට පැල්ලමට ඈඳලා කතන්දර හැදීම වගේ චන්ඩිකං කරන්න උං දෙන්නා පෙළඹුනා. මේ හැම එකකම අවසානෙ ඇහෙන කෙල්ලංගෙ හිනාව උං දෙන්න පිළිගත්තෙ ලොකු ආඩම්බරයක් හැටියට. ඒ හංදා අපි වගේ හුඟක් එවුං ඉස්කෝලෙ ගිහිං පන්සිල් ගනිද්දි දෙයියන්ට පිංදීලා ඉල්ලුවෙ උංගෙං එදා දවසෙ අපේ නම්බුව බේරලා දෙන්න කියලා.


අපේ සම මට්ටමේ අනික් පන්තිවල හිටිය ඕන කෙල්ලෙක් සායයි හැට්ටෙයි අන්දලා පාරෙ ගෙනියන්න පුළුවං මට්ටමේ හිටියා. ඒ වුනාට අපේ පන්තියෙ හිටිය කෙල්ලංගෙං කොල්ලෙක්ගෙ බැල්මට අහුවෙන්න හිටියෙ ‘**හාරි’ විතරයි. හමේ පාටත්, ඉගෙනීමේ හැකියාවත්, එක්ක දිග පළල හරියාකාරව පිහිටපු ඒකිගෙ කොණ්ඩෙ විතරක් නයිජීරියාවෙ මුරූගෙ වගේ උනේ කොහොමද කියලා මං කල්පනා කෙරුවා. ඒ වෙනකොටත් ගුරුවරු හැමෝම වගේ ඒකිව දොස්තර නෝනෙක්ට අන්දලා ඉවරයි. ඒ හංදම දහතුන වසරේ ‘වන්නියගෙ’ අවංක, අකලංක ප්රේෙම ආයාචනේට ඒකිගෙ හිත නැමුනෙ නෑ. හැබැයි වන්නියා තමුංගෙ සේනාව එක්ක අපේ පන්තිය පැත්තෙ එන විසිට් එකත් නතර උනේ නෑ.


**හාරි ඇරුණම අපේ පන්තියෙ හිටිය අනික් කෙල්ලො ගැන කියතොත් මෙහෙම වට්ටෝරුවක් හැදියැකි

ගාමිණී දිසානායක මහත්තයා මැරිච්චි තොටළඟ බෝම්බෙ පිපිරවීමේ සිද්ධියෙ බෝම්බකාරිගෙ මූණ වගේ මූණ තියෙන කෙල්ලො එකයි

ආණ්ඩුවෙන් පාසල් ළමයින්ට දෙන නිල ඇඳුං රෙද්දෙන් ගවුං දෙකක්ම මහන්න පුළුවං තරමෙ කොහුමිටි තරං අතපය හතර ඇති කේලං මලු හතරයි (සැ.යු:- එකෙක් ඇරෙන්න අනික්වා සම්පූර්ණ මැටි)

දෑල ලී මෝලෙ තියෙන ලොකුම දැති කියතටවත් අහුවෙන්නැති තරං මහත, හයමස් වයසැති නිවුං දරු උපතකට සූදානං ගැබිනි මාතාවක් තරං බඩ මහත තඩිස්සියො එකයි.

 ඉස්සරහ පස්ස මාරුවෙලා ඔලුව හයිකරා යැයි සඳහන් වෙන මහසෝන් අවතාරෙගෙ එක්කුසේ උපං නංගි යැයි සැක හිතන්න පුළුවං ඉස්සරහ පස්ස මාරුවෙලා, කකුල් බකල් වෙච්ච “සුරූපී ලලනාවො” වසයෙං ස්වයං වින්දනේ යෙදෙන කෙකර කිකිලියො තුන්දෙනයි.

හැමදාම ඇඳුංවල කහට පැල්ලං තියෙන, විවිධ වර්ණයේ ත්රිබකෝණ රටේ තියෙන බව තමුන්ට පිටිපස්සෙං ඉන්න කොල්ලන්ට මතක් කර දෙන, අන්ඩසොකට් එකේ රේන්දෙ ඉරිලා ගවුම යටිං එල්ලෙන්න ඇඳුං අඳින, ‘ශීලාචාරකමක් නැති එවුං’ කියලා ගුරුවරුංගෙ ඇගයීමට ලක්වෙන පිස්සු මරගාත දෙකයි (හැබැයි මුංගෙ හිත හොඳයි).

මේ කිසිම එකකට නැති Walking dead වගේ වට්ටෝරුවට ජීවත්වෙන කෙලි පරාණ දහ පහලොවක්.

කොල්ලො අතරිං බහුතරය හිටියෙ රැල්ලට ගහගෙන යන සෙට් එකක්. හැබැයි මට ඇරෙන්න අනික් හැමෝටම අඩු නැතුව ක්‍රිකට් පිස්සුව තිබුණා. පන්තියෙ සිරිමත්ගෙ ඉඳං යටම එකාට වෙනකං ඒ පිස්සුව පොදුයි. අනික් එවුං රංචුව පිටිං පිට්ටනියට බහිද්දි මං පොත් දඩයමේ ගියා. කාගෙ හරි ළඟ පොතක් පත්තරයක් තිවුනොත් වැඳල හරි ඉල්ලගෙන ඒක අරං ඇවිත් පන්තියෙ තියාගෙන කියවන මං ක්‍රිකට් ගහන එවුංගෙං බැනුං අහන්නෙ‍

“තෝ තමයි පීරියඩ් කට් කලා කියල අපිව අල්ලා දුන්නෙ”

කියල. 

ඔය වගේ ආතබූත පන්තියක් වෙච්චි අපේ පන්තියෙ එවුං හීනෙංවත් නොහිතන විදිහට මුලිම්ම කෙල්ලෙක් සෙට් වෙන්නෙ බට්ටට. පහ වසරෙ ළමයෙක් තරං පෙනුම ඇති බට්ටට කොට කලිසමට ලැබෙන රෙද්දෙංම දිග කලිසමක් මහන්න පුළුවං කියලයි අනික් එවුං කිව්වෙ. බට්ටට සෙට් උනේ හත වසරෙ නංගියෙක්. උප්පත්තියෙම්ම පිහිටල තිවුණු සිඟිති උඩු රැවුල් පොඩිත්තත්, නංගිගෙ තාත්තා රජයේ මරණ පරීක්ෂසක සහ පලාතෙම ගෙවල් ප්ලෑන් අඳින්නා වීමත් ඇරෙන්න වෙනිං අවුලක් ඒ නංගිට තිවුනෙ නෑ. බට්ටගෙ ඉල්ලීම පරිදි බට්ටෑ අයියගෙ පන්තියෙ එකෙග්ගෙ නංගිට කියලා මේ නංගිගෙං කැමැත්ත ඉල්ලලා යැව්වා. දවස් ගානක් ගියාට පස්සෙ කැමැත්ත ලැබුණ බවට ඒ පාරෙංම ආපස්සට ආරංචිය ලැබුණා. ඒකෙං අපේ බට්ටගෙ ජීවන කොපි පොතේ අලුත් පිටුවක් පෙරලුනා. කෙල්ලට රැව්ල ටිකක් තිවුණට ඒක ආදරේට කිසිම බාදාවක් නොවෙන බවත්, දැං ඌ තමුංගෙ අනාගත මාමණ්ඩියා වන කොරනේල් රාලහාමිටවත් බය නැති බවත් අපිත් එක්ක කියා හිටපු බට්ටා ඊළඟ වතාවෙ තමුංගෙ කලිසම ගලවන්න ආපු රංගයගෙ අත නහරයක් ඉලිප්පෙන්නම විකුවා. 

තවත් පියවරක් ඉස්සරහට තියලා තමුංගෙ ආදරවන්තිට මොකක් හරි තෑග්ගක් දෙන්න බට්ටට ඕනැ උනා.  ඒ වුනාට බට්ටගෙ ගෙදරිං රුපියලක් දෙකක් ඉල්ලගන්න එක වුනත් මාව සාක්කියට කැඳවන තරං බරපතල කටයුත්තක්. ඒ වුනාට බට්ටා සැලුනෙ නෑ. තමුංගෙ ආදරවන්තිය වෙනුවෙං මිනියක් මරන්න උනත් බට්ටට හිතේ හයිය තිබුණා. කාටවත් ණය නොවී සුපිරිසිදු විදිහට ඒ තෑග්ග අරං දෙන්න බට්ටට ඕනැ වුනා. අන්තිමට බට්ටා රුපියල් දහයක විතර විශාල මුදලක් ගෙදර අල්මාරියෙං ඉස්සුවා. ගෙදර ජූරිය ඉදිරියේ නඩු ඇහුවට බට්ටගෙ කට හොල්ලන්න බැරි වුනා. ගෙදරිං ලැබෙන වේවැල් පාර කාගෙන බට්ටා ඉවසං හිටියා. බට්ටගෙ පැත්තට සාක්කි දීපු මාවත් “දැං දැං ඒ තරං විස්සාස කරන්න බැරි” බව බට්ටගෙ දෙමව්පියො කියා හිටියා.
බට්ටා ලෙයින්, කඳුලිං උපයා ගත්තු රුපියල් දහයෙං කෙල්ලට තෑග්ගක් ගන්න විදිහ අපිත් එක්ක කතා කෙරුවා. බට්ටගෙ අතේ තියෙන ගානට ගන්න පුළුවං රුපියල් පහේ අයිස් පැකට් දෙකක්, දහයෙ චොකලට් එකක්, වගේ දේවල් අපි යෝජනා කලත් බට්ටගෙ හිතට මදි. 

“කාලයක් තියාගන්න පුළුවං දෙයක් දෙන්න ඕනි බං. නිතරම මාව මතක්වෙන දෙයක්”

දවස් ගානක් කල්පනා කරලා එක දවසක බට්ටා තමුංගෙ තෑග්ග ගෙනාවා. එදා උදේ ඉඳං පන්තියෙං එලියට නොගිය බට්ටා තමුංගෙ තෑග්ග තියෙන බෑග් එක පරිස්සං කලා. කෙල්ලෙක්ට තෑග්ගක් දෙන එක ජීවිත කාලෙට කිසිම ඉස්කෝලෙකට යන්න නොලැබෙන තරං අසික්කිත විදිහට ලියාපු අස්වීමේ සහතිකයක් එක්ක ඉස්කෝලෙන් දොට්ට වැටෙන වැරැද්දක් වෙච්චි ඒ කාලෙ පෙරුම්පුරාගෙන ගෙනා තෑග්ග කෙල්ලගෙ අතට දෙන එක බට්ටට ප්ර ශ්නයක් උනා. අපිටත් ඒකට මැදිහත්වෙන්න පුළුවංකමක් තිබුනෙ නෑ. බට්ටගෙ පෙම්වතිය බට්ටා එක්ක මූනට මුනගැහිලා කතා කරන්න බැරි තරං ලැජ්ජාවෙන් පිරිච්ච බෝලෙයක්. ඒකි බට්ටාට තමුන්ට කිට්ටු කරන්න දුන්නේ ඉස්කෝලෙ ගොඩනැගිල්ලක දෙකොන අතර තරං දුරකට විතරයි. බට්ටා බිල්ඩිමේ මෙහා කොනේ ඉඳිද්දි බට්ටගෙ කෙල්ල බිල්ඩිමේ අනික් කොනේ මොහොතකට පෙනී හිටලා ආපහු පන්තියට දුවන එකෙං උං දෙන්නගෙ පෙම් හමුව ඉවරයි.

අන්තිමට අපේ පන්තියෙ චන්ඩි දෙන්නා තෑග්ග ගෙනියන වැඩේ බාරගත්තා. ගාස්තුව දෙකේ අයිස් දෙකකට සල්ලි. බට්ටා කාගෙන්ද ඒකටත් ඕනෑ ගාන නයට ගත්තා. තෑග්ග දාපු බ්රසවුං පේපර් කවරෙ උඩිං රුපියල් හතර තියලා බට්ටගෙ ඩීල් එක චන්ඩි දෙන්නට බාර දුන්නා. උං දෙන්නා පන්තියෙන් පිටවුනාට පස්සේ ඒ පිටිපස්සෙං හොරෙංම ගිහිං තෑග්ග බාරදීමේ අවස්ථාව දෑහිං දැකගෙන බට්ටට ඒ ගැන විස්තර කිරීමේ වැඩේ මට පැවරුනා.  

රංගයයි, චමිලයයි අපේ පන්තිය තියෙන බිල්ඩිමේ එහා කොනට ගිහිං ආපහු හැරිල බැලුවා. මං කනුවක් පිටිපස්සෙ හැංගුණා. උං දෙන්නා එතනිං හරස් අතට ගිහිං මුදුන් බිත්තියට මුවාවුනා. මාත් අයිනකිං ඔලුව දැම්මා. එතකොටත් උං දෙන්නා බට්ටගෙ තෑග්ග කවරෙං එලියට ඇදලා අරං. බට්ටගෙ තෑග්ග ලේන්සුවක්. අරුං දෙන්නා ඒක දිගෑරියා. කලු ලෑල්ල මකන කොට්ටෙ ගැසුව වගේ සුදුපාට කුඩු ගොඩක් ලේන්සුවෙං බිමට වැටුනා. රංගයා ඒක තවපාරක් ගැසුවා. ඉං පස්සෙ උං දෙන්නා ලේන්සුව දිහා බලාගෙන නරි හූවක් එක්ක ටෙනිසන් කුරෙයි බන්දු සමරසිංහයි හිනාවෙනව වගේ හිනාවක් පටං ගනිද්දි මං එතෙන්ට කඩා වැදුනා. 

“ඒයි. ඕක අදින්නෙපා බං.”

“අනෙප්පල යන්න.”

උං දෙන්නා බ්රගවුම්පේපර් කවරෙ උඩ විසික් කරා. මං ඒක අහුලන්න පාත් වෙලා නැකිටිද්දි රංගය ලේන්සුව ඇඟිලි දෙකකිං අල්ලගෙන උඩට උස්සගෙන පන්තියට දුවනව. මං උංගෙ පස්සෙං එලෙව්වා. උං දෙන්නා පන්තියට ඇතුල්වෙද්දි බට්ටගෙ මූනට වෙච්චි දේ දකින්න මට එතන ඉන්න බැරිවුනා. ඔව්, මං ටිකක් පහුවෙලා ආවේ. කලුලැල්ලටත් වැඩිය උස රංගයා හැමෝටම අර ලේන්සුව පෙන්නනව. බට්ටට එතනට එන්න බැරිවෙන්න චමිලය ඌට පොලිස් ගැටේ දාල අල්ලගෙන. බට්ටා උඩ පැන පැන සාප කරනව.

“තොපි වල් බල්ලො. හැඳිගෑවියව්”

“තොපිට හෙන ගහනව බොලව්”

 අපේ එවුං වටවෙලා ලේන්සුව බලනව. බලන බලන එකාට බන්දු සමරසිංහගෙ හිනාව බෝ වෙනව. මාත් ඔලුව දැම්මා. 

ඒ ලේන්සුව මහපු කෙනාටවත් ඒක අඳුරගන්න බෑ. බට්ටා ඒකට කාබන් පෑනෙං වැඩ දාලා. ලේංසුවෙ හතර කොනේ නැට්ට නැති බෝකොල හතරක් ඇඳලා. ලේංසුවෙ මැද පෙති තිහකට වැඩිය තියෙන මලක් ඇඳලා. මලේ මැද රේණු පවා ඇඳලා. ඒක අපේ එවුං දැනටමත් ‘අරකිගෙ අහවල් එක’ හැටියට නම් කරල ඉවරයි. කලිං සතියෙ චිත්රඑ මිස් කියල දුන්නු පලාපෙති මෝස්තර වලිං එකක් ලේන්සුවෙ බෝඩරේට ඇතුලෙං කොළ පාට පෑනකිං ඇඳලා. ඉතුරු ටික සමරු පොතක් වගේ. බට්ටට කෙල්ලත් එක්ක කියන්න තිබුණු සේරම ටික ඌ ඒ ලේන්සුව පුරා එක එක අතට ලියලා. උගෙ ආදරේ තරම ලියන්න ‘උත්කෘෂ්ඨ’ වගේ අමාරු වචන පවා ඌ පාවිච්චි කරලා. 

කොරනේල් රාලහාමිට බය නැතිකම රතුපාටිම්ම ලියලා තිබුණා. 


“මං චන්ඩියෙක් වුනේ ඔයා නිසයි”

වගේ වීර කියුම් ඇරුණම අනික් හැම ආදරණීය කරුණකම මුලට ඊතලයක උලගහපු බෝකොල දෙක දෙක ඇඳලා. ඒ විතරක් නෙවෙයි ලේන්සුව පුරාම බට්ටා පොඩි කාලෙ ඉඳං අහපු සේරම සින්දු ලියලා. ප්රි.න්ස්, නාමල්, අජිත්, වගේම ජෝතිපාල, ප්රිබයා, එඩ්වඩ් ජයකොඩි පවා බට්ටා අමතකර කරල නෑ. ලේන්සුවෙ අනික් පැත්තෙ මල් පත්තරේකින් කොපි කරල අඳින්න හදපු පාසල් පෙම් යුවලක පින්තූරෙ බාගෙට ඇඳල නවත්තල තිවුනෙ ඒ පින්තූරෙ ඉන්න ජෝඩුවටම “කෙහෙතගෙ අපලෙ” දරුණුවටම තියෙන බව පේන හින්දයි. 

අපේ එවුං සේරම ඒක බැලුවට පස්සෙ රංගයයි, චමිලයයි ඒ ලේන්සුව අනික් පන්තිවලටත් පෙන්නන්න අරං ගියා. පන්තියක් ගානෙ බට්ටගෙ ලේන්සුව පෙන්නලා බට්ටව පීචං කරන්න උං දෙන්නට පීරියඩ් දෙක තුනකට වඩා ගියා.  ඉස්කෝලෙං බාගයක් පුරාම බට්ටගෙ ලේන්සුවෙ තිවුණු අකුරක් ගානෙ පැතිරුණා. හයේ පන්තියෙ පොඩි එවුං පවා බට්ටට විහිලු කරා. ඔය විදිහට මාස ගානක් ඉස්කෝලෙට යන එන තුරාවට බස්එකෙත් ඉස්කෝලෙ ඉන්න වෙලාවෙත් විහිළුවට ලක්වුනාට ඒ සේරටම “උඹෙ අම්මගෙ..............” කියල සරල කුණුහරුපෙන් උත්තර දෙන්නත් ඒ එක්කම කිසිම දුකක් නැතුව ‘රැවුල් නංගි’ අතාරින්නත් බට්ටට පුළුවං උනා. බට්ටා සාමාන්යඑ පෙල පේල් වුනා. දෙවෙනි පාර සාමාන්ය  පෙල පාස් වෙලා උසස් පෙළ සයන්ස් කරන්න ගිහිං ඇනගත්තා. දැං බට්ටා උසයි, ලොකුයි. මෑතකදි බොහොම හුරුබුහුටි කෙල්ලෙක්වත් බැඳගත්තා. ලක්ස බාගෙක තරම පඩියක් ගන්න රස්සාවකුත් ලැබුණා.

චන්ඩි දෙන්නගෙං රංගයා පහුකාලීනව අපට දෙමළ උගන්වපු මිස් එක්ක වලියක් දාගෙන ඉස්කෝලෙං අස්වීමෙ සහතිකේ ලියාගත්තා. පස්සෙ කාලෙක අපේ පන්තියෙම හිටපු කෙල්ලෙක්ගෙ කැමැත්ත ඉල්ලලා නොලැබුණ තැන ගංජා ලෝලියෙක් වෙලා නන්නත්තාර වෙලා ගිහිං තිබුණා. චමිලයත් සාමාන්යන පෙළ පාස් වුනා කියල දන්නවා. එතනිං පස්සෙ උං දෙන්නට වෙච්ච දෙයක්වත් දන්නෙ නෑ. 

අදටත් දවල් එකට දෙකට පාරට බැස්සම රංගයයි, චමිලයයි වගේ අනුං තලාපෙලා සතුටු වෙන ජාතියෙ ඉස්කෝලෙ ළමයින්ව මං දකිනවා. සමහරු අනික් අයගෙ තොප්පි ඇදගෙන දුවනවා. තවත් අය කනට ගහලා දුවනවා. ඒ වගේ දෙයක් කරලා කෙනෙක්ව අසරණ කරලා මහ හයියෙං හිනාවෙලා සතුටුවෙන බව පෙන්වන ළමයින්ට මොකක් නමුත් හීනමානයක් තියෙන බවත්, රංගයට වගේම ඒ ළමයින්ටත් දරාගැනීමේ ශක්තිය අඩු බවත් මට හිතෙනවා.  මගේ පැට්ටේරි රස්සාවෙදි හමුවෙච්චි ඒ වගේ තලාපෙලන්නෝ බොහොමයක් හිතේ හයිය අඩු මිනිස්සු. ඒ වගේ අය ඉස්කෝලෙ කාලෙදිම අඳුරගෙන සුදුසු පිලියමක් කලානම් සමාජයට යහපතක් වෙන්න පුළුවං.

Saturday, June 10, 2017

කනපිට මාකෝනි

පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ

"මාකෝනි"

කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ 

"ජෝන් ලොගී බෙයාඩ්" 

කියලයි. ඒ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මේ කතාව.

**************************************************************************







රෑ කෑමට පස්සෙ අරළු පෙති බීපු කෙනෙක් උදේ පාන්දරම දවස පටං ගන්නව වගේ සද්ද ගොඩක් නැන්දලගෙ ගෙවල් පැත්තෙං ඇහුනා.


මේ සද්දෙං කියන්නෙ එදා දවසෙත් පියසේන මාමා වැඩට ගිහිං නෑ කියන එකයි. හුඟක් දවස්වලට මේ වෙලාවට ආච්චිඅම්මත් චූටිවත් ඇදගෙන අපේ ගෙදරට එන්නෙ 


“පීසේන අදත්තර රේඩිවේක කඩාලනව. කනක්කැහිල ඉන්න හැටියන්නෑ. කං බීරිවෙනව“

කියාගෙනයි. ඔය සද්දෙට නිකම්ම ඇදිල යන කෙනෙක් අහල පහලක හිටියනං ඒ මං විතරයි. ඉතිං මං අඩියට දෙකට පල්ලම බැහැල කන්ද නැගල නැන්දලගෙ ගෙදරට ගියා. මං යද්දි පියසේන මාමා සාලෙ මේසෙ උඩ රේඩිවේකෙ පලු දෙක දෙපැත්තට ගලෝල මදේ වෙනම තියල. බැට්ටි කෑලි දාපු බටේ වෙනම තියල. ඒකෙ දෙපැත්තට වෑර් දෙපොටකට අමුණපු හැට්ටකටු දෙකක් තියල ටියුබ් පටියකිං වෙලල. රේඩිවේකෙ මූනෙ ඇලිල ඉන්න පීකරේ විතරක් විටිං විටේ බඩ විරේක වෙන සද්දෙ පිට කරනව. පියසේන මාමා ඉස්කුරුප්පු නියනක් අරං රේඩිවේකෙ මදේ තියෙන පෙට්ටි හැඩේ කෑලිවල මැද තියෙන රවුං කරකෝනව. එකක් ඩිංගක් කරකවපු ගමං පීකරේ බොහොම ගාම්භීර විදිහට

“බර්ර්ර්ර්රර්ර්ර්ර්“

කියනව. ආයිමත් අර රවුම ආපස්සට කරකැව්වහම ඒ සද්දෙ නවතිනව. ඊළඟට තව එකක් කරකවනව. ඒ ගමන මරණාසන්න රැහැයියෙක් තමුංගෙ අවසන් කැමති පත්තරේ කියවනව වගේ කං කලාඳුරු ගැලවෙලා විසික්වෙන සද්දයක් එනව. දොරකොඩ පඩිය උඩ ඉන්න බිංදුවා (මේ කීවෙනි බිංදුදැයි මතක නැත) කං ගොටු දෙක හොඳට උඩට උස්සලා ගේ පැතත් බලනවා. ඒකත් හරියන්නෑ. පියසේන මාමා ඒ කරකවපු එකත් ආපිට කරකවන්න බලනව. එක වගේ පෙට්ටි හය හතක් තියෙන හංදා දැං කරකවපු එක මතක නෑ. ඒ ගමන දෝසෙ හරියනකං එව්වා එකිං එක කරකවනව. ඒ හැම කරකැවිල්ලකිංම අජීරනේ තව තවත් දරුණු විදිහට වැඩිවෙනව. අන්තිමට දරුණු මල පෙරේතයෙක් වැහිච්චි පිස්සෙක් සොහොනට දුවන්න කලිං හූ තියනව වගේ ලතෝනියක් පීකරෙං පිටවෙනව. රේඩිවේකත් ආතගෙ සොහොනට දුවයි කියල බයවෙලාද කොහෙද පියසේන මාමා රේඩිවේක වහන සුයිච්චෙක හොයන්න වටේ පිටේ අතගාල හරියන්නැති තැන බැට්ටි බටෙං හැට්ට කට්ට පැන්නුවා. 


“අනේහ් හත්තිකේ“


නැංදා කුස්සියෙ ඉඳං බෙරිහං දුන්නා. පියසේන මාමත්, ඒ පිටිපස්සෙන් මාත් කුස්සියට දිව්වා. නැංදා එක කකුලක් ඉඳුල් වතුර කොරහෙ ඔබාගෙන බංකුවෙ ඉඳං බෙරිහං දෙනව. 


“මොකද උනේ“


පියසේන මාමා අැහුවා.


“මං ලිපේ දරකෑල්ලක් අදිද්දි ආං අර කැවුතු කැටිය මගෙ කකුලට වැන්නා“


නැංදා වං අතිං කකුල බදාගෙන අනික් අතිං ලිප ගාව බිම වැටිල තියෙන පලුවක් නැති සේසතක් වගේ එකක් පෙන්නුව. 


“ආ..... මේ බවුත්තෙක. මං ඒක ලිපේ තියල තිවුනෙ රත්වෙන්න“


පියසේන මාමා කුඩ නනේක අගිස්සට මැදිවෙන්න තඹ සතයක් දෙකට නමල හදපු බවුත්තෙක අහුලගෙන ලිපට දාලා ගිනි අඟුරු ටික එක්කහු කරල බට කුඹලෙං පිම්බා. බවුත්තෙකට ඇතිවෙන්න ගින්දර වැටුනට පස්සෙ නැන්ද ගාවට ඇහිල්ලා කකුලෙ පිච්චිලා තියෙන තැන බැලුවා. ඒක හරියට පේන්නැති හංදා ආපහු ගිහිං රේඩිවේකෙ බැට්ටි බටේ ගලෝලා ඒකෙ බැට්ටිකෑලි ටික ටෝච්චෙකට දාලා බලද්දි ටෝච්චෙකේ අඩිය නෑ, ආයිමත් පරණ යකඩ බඩු පෙට්ටිය ඇදලා ඒකෙ තියෙන ටෝච් අඩි වලිං එකක් අරගෙන ටෝච්චෙකට දාලා තද කරලා බැලුවා. ඒ අතරෙ ටෝච්චෙකට උප්පත්තියෙම්ම අයිති අඩිය බිංදුවගෙ ටකරම අස්සෙ තිවිල හොයාගන්න මට පුළුවං වුනා. ඒ විදිහට අමුණපු ටෝච්චෙකේ එළියෙං නැංදගෙ කකුලෙ හරහට දම්පාටට හැරිල තිවුන පිච්චිල්ල ඉඳුල්වතුර කොරහෙ බොරපාට අතරිං බලාගන්න අපිට පුළුවං වුනා. ඉං පස්සෙ චූටිව පොඩිකාලෙ නාවපු බේසමට වතුර පුරවල ඒකෙත් නැන්දගෙ කකුල ඔබල තිව්වා. ටික වෙලාවක් ගිහාට පස්සෙ නැන්දා වලං අල්ලන පාංකඩෙං කකුල පිහදාගෙන ඒකෙ කුකුල් තෙල් ටිකක් ගාගන්නව.


ආයිමත් පියසේන මාමා රේඩිවේකෙ වැඩ පටං ගන්නවා. බැට්ටි බටේ ටියුබ් පටිය පැනල බැට්ටි කෑලි රෝල්වෙලා ගියත්, වෑර් එකට ගැවිල ගින්දර විසිවුනත් ඒ හැදිල්ල නවතින්නෙ නෑ. සමහර වෙලාවට මං අහන ප්‍රශ්න වලට උත්තර බඳින්නත් පියසේන මාමට සිද්දවුනා.


“මොකද්ද මාමෙ මේ බෙහෙප්පෙති වගේ කෑල්ල“


“ඒක කරන්ටෙක යන කෑල්ලක්“


“මේ බටේ එතකොට“


“ඒක සේවා අහුවෙන කෑල්ල“


“සේවා අහුවෙන්නෙ බටේ අස්සෙං යද්දිද?“


“ඔව්“

“එතකොට බටේ අස්සෙං නොගියහම?“

“නෑ. බටේ අස්සෙං තමයි යන්නෙ“


“සේවෙ දන්නවද බටේ අස්සෙංම යන්න ඕනි කියල?“


“හ්ක්ම්“


“මේ පනුවො මොක්කුද?“

“ඒ කෑලි“

“ඒක මොකටද?“

“කරන්ටෙක අඩු කරන්න“

“ඉතිං කරන්ටෙක අඩු කරන්නෙ මොකද?“

“නැත්තං සේවෙ අහුවෙන්නෑ“

“මේ බැරල්ලෙකක් වගේ එකෙං මොකද වෙන්නෙ?“

“ඒකෙං කරන්ටෙක යනව“

“ඉතිං ඒවෑනුත් කරන්ටෙක යනව නං ඒව නැතුව මේ බෙහෙප්පෙතිම දාන්න තිවුනනෙ?“

“හ්ක්ම්“


ඔය අතරෙ සැරිං සැරේ වෑර් පොටවල් පාස්සන්නත් ඕනි වෙනව. එතකොට පියසේන මාමා කුස්සියට ගිහිං ලිපේ දාපු බවුත්තෙකේ මිට ලිප ගාව තියෙන වලං අල්ලන පාංකඩෙං අල්ලල අරං අඩි දෙකට දුවගෙන එනව. සමහර වෙලාවට බවුත්තෙක ගෙනාවයිං පස්සෙ පාස්සන තැන අමතකවෙලා ආපහු මුල හිටං හොයනව. එතකොට බට ටොපියක් වගේ රතුවට තිවිච්චි බවුත්තෙක නිමිල. ආයිමත් බවුත්තෙක ලිපට දාලා ඇවිල්ලා හරියටම පාහන තැන හොයනව. ඒ වෙලාවට මං ඒ තැන හරියටම මතක තියාගන්නව.


මට මතක තියෙන කාලෙ ඉඳං නැන්දා අලුතින් කැසට්ටෙක ගේනකං අවුරුදු හය හතක් තිස්සේ පියසේන මාමා හැදුවේ ඉස්සර ආත ගෙනැහ්ලා පාවිච්චි කරපු රේඩිවේක. පියසේන මාමගෙ රේඩියෝ හැදිල්ල ගැන කියද්දි අපේ තාත්තා කියන්නෙ

“රේඩිවේකක් මුලිම්ම හැදුව සුද්දවත් ඔච්චර කාලයක් රේඩිවේකක් හදන්නැතුව ඇති“

කියලයි.

 කැසට්ටෙක ගෙනාවයිං පස්සෙ ඒ වෙනකං ගෙදර පාවිච්චි කරපු රේඩිවේක පියසේන මාමාට ගොදුරු උනා. ඒ වුනාට පියසේන මාමට නව තාක්‍ෂෙනත් එක්ක ඉස්සරහට යන්න සෑහෙන උවමනාවක් තිවුනා. ඒ හංදා පියසේන මාමා අලුත ගෙනා කැසට්ටෙකටත් නැන්දා ගෙදර නැතිවෙනකං ඉඳලා ඉස්කුරුප්පු නියන තිබ්බා. 

වැඩි දවස් යන්න කලිං කැසට්ටෙකේ බඩ මැදිං ලොකු ටියුප් පටියක් බැඳුනා. ඒරියල් කූර උඩ ගිහිං වහලෙ උලු පේලි දෙකක් අතරෙ රැඳුනා. එතන ඉඳලා කැසට්ටෙකේ ඉස් මුදුනට ඉඳිවැල් කම්බියක් ඈඳුනා. වෙනදට සිංදු අටක් කියලා “ටොහ්“ ගාලා නවතින කැසට්ටෙකට හිතුවක්කාරකමට වැඩ කරන්න නිදහස ලැබුනා. ඒ හිංදා සිංදු අට කියල ඉවර වෙනකොට කැසට් පීස්සෙක නවත්තන්න කවුරුවත් හිටියෙ නැතොත් කැසට්ටෙක


“ජරබර ජරබර ජරබර“


කියලා ගෝරනාඩු කලා. ඒ වෙලාවට කවුරුහරි ගිහිං පීස්සෙක නවත්තන සුවිච්චෙක එබුවොත් ඒ සන්තෝසෙට තුංහුලස් ලාංඡනේ ඇඳපු සුවිච්චෙක උඩ ගිහිං ඉටිකොලේ වැදිලා බිම වැටුනා. පීස්සෙක එලියට ගන්න ඒ සුවිච්චෙක ආයි පාරක් එබුවොත් කැසට්ටෙකේ දොර ඇරිලා පීස්සෙක දොට්ට විසික් වුනේ ඉංගිරිසි බෙහෙත් බොන්න අකමැති කෙනෙක් දිවේ ඇලිච්චි පැන්ඩෝල් පෙත්තක් තුක්: කියල විසිකරන්නා වගෙයි. ජයසූරිය බාප්පගෙ මී වස්සව ගැට ගහන්න බලෙං ඇදගෙන යනව වගේ සේවා අල්ලද්දි එහාට මෙහාට යන කටුවත් ඇදේට යන්න පටංගත්තා. කම්බි කෑල්ලෙං බැඳිල ඉන්න අකමැති වෙච්චි සමහර රෝද තමුංගෙ කොට්ට පැදුරුත් අරගන හෙලපල්ලටම ගියාට පස්සෙ ඒ තැන ගත්තෙ නූල් බෝලෙ මැද බටේ, පෑංවල පිට බටේ, දත්බෙහෙත් මූඩි වගේ ඒව. සමහර දවස්වලට ගායිකාවො කියන සිංදු කැසට්ටෙකෙං ඇහුනෙ අමරදේවගෙ හඬිං. පුන්සිරි සොයිසා සිංදු වමනෙ දැම්මා. පියසේන මාමට ආයිමත් කැසට්ටෙක ගලෝල හදන්න සිද්දවුනා. ඒ ගමන බොහොම හිමීට කියන සිංදුත් අංක එකේ වේග රිද්ම ගීත බවට පත්වුනා. එව්වා ඇහෙන්න ගත්තෙ ලේන්නු රංචුවක් පොරකනව වගේ. අන්තිමට පෝය දවසට බණ අහන්න ඕනැ උනහම ආච්චිඅම්මා හීංසැරේ වේල්ලෙං එගොඩවෙලා අපේ ගෙදරට ආවා.


“ලොකු ළමෙයො. ඔය බණ ඩිංගක් දහංකො මට අහං ඉන්න.“


බණ අහල ඉවරවෙලා පිංදීලා රේඩිවේකෙ පීකරේ දිහාවට හැරිල වැඳලා ඉවර උණාට පස්සෙ


“ගෙදර තිවිච්චි පරණ රේඩි කබලත් පියසේන කඩා දැම්මනෙ“


කියන්නත් ආච්චි අම්මා අමතක කලේ නෑ.


ඒ කාලෙදිම නැන්දා ගෙනාපු ටීවී එකත් පියසේන මාමට පෙනුනෙ තමුංට ජාතියන්තරේ ජයගන්න ලැබිච්චි අවස්ථාවක් විදිහට. ටීවියෙක බලන්න ගෙනාපු බැට්ටියෙංම අඩිරූලක් විතර දිග ඉටිපංදමක් ඉතර මහත ටියුබ් බලුප්පෙහෙකුත් පත්තු කරන්න පියසේන මාමා ඉගෙනගත්තා. ඒ දෙකම එක ජැක් එකෙං අමුණලා ටියුබ් බලුප් එකට සුවිච්චෙකක් දැම්මෙ ඕන වෙලාවට බලුප්පෙක දාන්නත් අනික් වෙලාවට ටීවියෙක විතරක් බලන්නත් පුලුවං වෙන්නයි. ඒ වුනාට ටීවියෙක බලන ගමං බලුප්පෙක පත්තු කරන්න සුවිච්චෙක දැම්මහම කැප්රෝල් දාන සෙල්ලං පිස්තෝලෙක සද්දෙ ත් එක්ක එළියක් විසිවෙලා පුළුටු ගඳක් පැතිරුනේ වෑර් පොදියකුත් උනු කරගෙනමයි. 


ටික දවසක් යද්දි පාලොස්වක දවසට හොල්මං පේනව වගේ පේන ටීවී බැලිල්ල හොඳට පේන තත්වෙට ගන්න පියසේන මාමට ඕනැවුනා. ඒකට කොට්ට ගහ මුදුනෙං යන සික්නල් ටික විතරක් මදි බව පියසේන මාමට තේරුං ගියා. ඒකට සික්නල් අල්ලන මුරකාරයො කීප දෙනෙක්ම ඕන කලා. ඒ හංදා වහලෙ මුදුනෙං යන සික්නල් ටික අල්ලගන්න ආච්චම්මගෙ පරණ ‘කුඩ රොඩ්ඩෙ‘ රෙද්ද ගලෝලා පැත්තකට දාලා කුඩේ ඇටසැකිල්ල අරං වහලෙ මුදුනෙ මුදුං උලුකැටයක් හිල්කරලා හිටෝපු ලීයක ගැටගැහුවා. ඒ පිහිටෙං වැහි දවස්වලට ගෙට නිකම්ම හම්බුවෙන වතුර ඩිංග එක්කහු කරන්න චූටිව පොඩිකාලෙ නාවපු බේසම පිහිටට හිටියා. කුසුංසිරි බාප්පලෑ ගෙදර තිවිච්චි පරණ ඇන්ටනාවක සුංබුං ටිකක් ගෙනත් කම්බි කෑලිවලින් පුරුද්දල හදාපු මකුලුවෙක්ගෙ ඇටසැකිල්ල වගේ ඇන්ටනාව අඟහරු ලෝකෙ දිහාවට හරෝල කිතුල් ගහ කිට්ටුව ‘ආත ගහේ‘ බැඳ තිවුනා. කොට්ට ගහ මුදුනිං යද්දි ඇන්ටනාවෙ පැටලෙන සිග්නල් ටිකයි, වහලෙ මුදුං උලු පේලිය දිගේ යද්දි කුඩ නනවල ඇමිණෙන සිග්නල් ටිකයි, අඟහරු ලෝකෙං බිමට වැටෙද්දි ආතගහේ තියෙන හබකට අහුවෙන සිග්නල් ටිකයි ඔක්කොම වයර් පොටවල් දිගේ ඇහිල්ලා උගුරැස්ස ගහේදි මුනගැහිලා තවත් කම්බි පොටවල් දෙකක් දිගේ ගෙට එද්දි අතර මගදි ඒවගෙ දිග මදිවුනා. කැලේට ගිහිං ගහක් කපාගන්න, ගඟ අයිනෙ තියෙන උණ පඳුරකිං උණ ලීයක් කපාගන්න වගේම හිඟපාඩුවක් වෙච්චි වෙලාවක කෙක්කක් දවුඩලා පාරෙ තියෙන ටෙලිපෝන් වයර් දෙකෙං රියන් දෙකතුනක් කපාගන්නත් තහනමක් අපේ ගමේ කාටවත් තිබුණෙ නෑ. ඒ හංදා පියසේන මාමාට වයර් නැතුව හුඟ වෙලාවක් බලං ඉන්න උනෙත් නෑ. 


අන්තිමට මේ ඇන්ටනා තොගේ දැකපු අපේ අම්මා මට අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කෙරුවා.


“මේ ගෙදර කොල්ලො හුඟක් නෑ. උඹ එහෙම වැහි වෙලාවට, විදිලි කොටන වෙලාවට එහෙම පීසේන මල්ලිලෑ ගෙදර දිහාවෙ යනව එහෙම නෙමෙයි. ගියොත්තඬු කඩනොව.“


මේ තරං ඇන්ටනා දාලත් රූප පැහැදිලි නොවිච්ච හංදා ටීවියෙක ගලවලා බලන්න පියසේන මාමට සිද්දවුනා. එක පාරක් නෙමෙයි දහ දොලොස් වතාවක් ටීවියෙක ගලවද්දි ටිවියෙකේ තියෙන ඇන ටික පියසේන මාමාගෙ කාර්යක්ෂමතාවට බාධාවක් වුනා. ඒ හංදා එස් පහ සංකල්පෙට අනුව ඇන අයිංවෙලා ඒ වෙනුවට ටිකක් මහත ටියුප් පටි දෙකකිං ටීවියෙකේ පලු දෙක එක්කහු කරලා බැඳුනා. එතකොට ඕන වෙලාවට පාංකාරයගෙ පාං පෙට්ටියෙ ඉටිකොලේට දාපු පටිය පන්නනව තරං ලේසිවට ටිවියෙකේ පටි දෙක පන්නල අභ්‍යන්තරේ දකින්න පියසේන මාමාට පුළුවං උනා. මේ විදිහට නිතරම ගැලවීම නිසා බුරුල් වෙච්චි චැනල් කඩන රවුමටත් දෙපොට දාපු ටියුප්පටි කෑල්ලකිං හදපු තොණ්ඩුවක් දාලා ටීවියෙකේ පිටේ එල්ලන්න සිද්දවුනා. මං අන්තිමට දකිද්දි ඒ ටීවියෙක තිබුනේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙං බලෙං ටිකට් කප්පගෙන මරදන්කඩවල වෙදමහත්තය ගාවට ගෙනියන ලෙඩෙක් වගේ.

පියසේන මාමගෙ හැකියාව ඉලෙක්ට්‍රොනික් අංශෙට විතරක් අයිති එකක් නෙවෙයි. එයිට වඩා දුර ගිය දැනුමක් පියසේන මාමට තිබුණා. කරන්ටෙක නැති කාලෙ ගෙදරක තිවුණු වටිනම බඩුව තමයි ලයිට්ටෙක. ඒකෙ නිපල්ලෙකක්, වේපරයක් මාරු කරගන්න එහෙම දන්න කියන අය හිටියෙත් කීප දෙනෙක් විතරයි. පියසේන මාමත් බොහොම අමාරුවෙං සල්ලි ටිකක් හොයාගෙන පරණ ලයිට් කබලක් ගෙනාවා. ඒක එතකොටත් වැඩ කරන්නෙ නෑ. ඒ හංදා ඒක හදන්නම වෙනවා. රේඩියෝ හදනව වගේ නෙමෙයි ලයිට් හදන වැඩේට යතුරු, ඉස්කුරුප්පුනි, වගේ සුළු ආවුද වගේම මිටි, පිහියා වගේ බර ආවුද එහෙමත් ඕනැ වුනා. බවුත්තෙකෙං වැඩක් නැති හිංදා නැන්දා ලිපේ අළු අරං දාත්දි බවුත්තෙකත් උගුරැස්ස ගහ මුල අළු ගොඩට වැටුනා.

උත්සාහෙ අතාරින්නෙ නැතුව දිගටම වැඩ කරද්දි ලයිට්ටෙකේ සමහර යකඩ කෑලි නමන්න හිට සිද්දවුනා. ඒ හංදා ගෙදර තිවුනු කිරි කපන පිහියට එහෙමත් යකඩ කපන කටුවක් වෙනුවට වැඩ බලන්න සිද්දවුනා. දවස් ගානක් නොකා නොබී වැඩ කරලා ලයිට්ටෙකේ තිමිනියත් පොඩි කරගෙන, මැන්ටලෙයි වේපරෙයි දෙකමත් කුඩු කරගන්න පියසේන මාමට පුළුවං උනා. ඒ කෑලි ටිකත් කඩෙං ගෙනැත් දාලා හදාපු ලයිට්ටෙක මුලිම්ම පත්තු කරන වෙලාවට ඒ පැත්ත පලාතෙවත් ගියොත් මාව ඇස්දෙකේ ඉඳං පට්ට ගහන බවට අම්මා දිවුරලා තිබුණා.

ඒ හංදා ඒ උත්කර්ශවත් දවසෙං පස්සෙ දවසෙ නැන්දලගෙ ගෙදරට යද්දි දොරකොඩ රෙදි වැලේ පැත්තක් අඟුරු වෙච්චි සරමක් වනල තිබුණා. සාලෙ මේසෙ ඉටිකොලේ වෙනුවට පත්තර කොල දෙකක් එලල තිවුනා. සාලෙ මැද හරියෙ බිම කලුපාටට රවුමක් ඉතුරු වෙලා තිබුණා. වහලෙං රොඩු වැටෙනවට සීලිම වගේ ගහල තිබුණු ඉටි රෙද්දෙ මැද හරිය උණුවෙලා ලොකු රවුමක් හැදිල තිවුනා.


"කෝ ආච්චම්මෙ ලැයිට්ටෙක?"


මං ආච්චම්මගෙං ඇහුව.


"අන්න පිලිකන්නෙ ඇති. ඊයෙ රෑ පීසේන ඒක පත්තු කොරන්න ගිහිං සරමත් ගිනි තියාගෙන මේසෙටත් ගිනි ඇවුලුනා. තාපොඩ්ඩෙදි ගේත් ගිනිගන්නව. පස්සෙ ඔන්න මැණිකා අර බලට්ටක් ඇරං ඇහිල්ල ඒක ඇදල දොට්ට විසික් කෙරුව. ලාම්පුතෙල් බෝතලේකට වැඩිය අහක්ගියා"


මං ගිය ගමන අම්ම දැනගන්න කලිං මං ආපහු ගෙදර ආවා.

*********************************************************************************


දැං අර කලිං ප්‍රශ්න අහපු පහේ පන්තියෙ දරුවගෙන්ම තව ප්‍රශ්නයක් ඇහුවැකි.


"ගුවන්විදුලියයි රූපවාහිනියයි දෙකම නැති බංගස්තාන කලේ කවුද?"


Saturday, May 20, 2017

කුණු කඳු තුනී කරන හැටි

කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.


හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි වන්නේය. ඒ වුනාට අපේ ගෙදරිං කෑම කුණු හැටියට විසි කරන්නේ නැත.


හැන්දේ නොපිටිං තද කර මහා මැටිකෝප්පයක් පුරවා දෙන තාත්තාගේ බත් පිඟානත්, අනික් අයගේ බත් පිඟන්වලත් තියෙන කෑම වලින් බාගයක් විතර අපිට කාගන්නට බැරුව ඉතුරු වන්නේය. ඒ වෙලාවට අපි කරන්නේ මිදුලට බැස මෙලෙස කෑ ගැසීමයි.


"බිංදු ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්.... කලුව ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්"


විනාඩියක් යන්න කලිං බිංදුවාත්, කලුවාත්, බන්ටියාත් නගුටු වනමින් අපේ මිදුලට කඩාපාත් වන්නේය. එවිට ගෙයි ඉතිරුව ඇති හොදි මාලුපිනි ඇත්නං ඒවාද ඉතුරු කෑම පංගුවටම දමා අනා තුන්දෙනාට කොලපත් කෑලි තුනකට දමා දෙන බත් පංගු තුන විගසින් අතුරුදහන් වන්නේය. සමහර වෙලාවට බිංදුවා, කලුවා, බන්ටියා, හංකඩයා ආදී සියලු දෙනාම දුර ගමනක් ගිහිං ඇතිවිට හෝ කා වැටීම සඳහා වෙනත් බලු වැයික්කියකට  ගිහිං ඇති විටක අපි ඉතුරු වුනු කෑම සියල්ල අනා පිලිකන්නේ ගල උඩ විසාල බත්පතක් ගොඩගසන්නෙමු. එවිට කපුටෝද, දෙමලිච්චෝද, බට්ටිච්චෝද, ලේන්නුද, ආදී ගස් උඩ යන හැම සතෙක්ම ඇවිත් එයිං බඩ පුරවා ගන්නේය. එතනිං යන ගමං ලේනෙක්, දෙමලිච්චෙක් අල්ලාගන්නට එන සම්බෝල පූසාද, කං බාගයක් නැති පූසාද, ඉබාගාතේ යන තලගොයාද එයිම්ම බඩ පුරවා ගන්නේය. බිංදුවා හම්බුවෙන්නට අපේ ගෙදරට එන වෙනත් බලු නගුටෝද බින්දුවා නැති තැන ආගන්තුක සත්කාරයක් වශයෙං එතනිං බත්කටක් කා යන්නේය. ඒ හංදා අපි කාලා ඉතුරු වන කෑම වේලක් පැය දෙක තුනක් යද්දී අවසන් වන්නේය.


වළඳේ අඩියේ ඉතුරුවන් දංකුඩ ටික ගොඩ සතුන් කන්නේ නැත. ඒ හංදා අම්මා වලං ටික හෝදන්න දොලට ගෙනගිය විට වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරා දොලේ ගල්වැටියෙං පහලට දාන්නේ මාලුන්ට කන්නටය. කොස් දෙල් ආදිය උනත් ඒ විදිහය. බල්ලන්ට ඉඦෝ කිව්වා මෙන් මාළුන්ට වෙනිං යමක් කියා අඬගහන්නට උවමනා නැත. වතුරට මොකක් වැටුනත් ඒක වටේ රැස්වී ඒක කන්නට පුළුවන්දැයි බැලීම මාළුංගේ සිරිතය. තිත්තයෝ ඇරුණම ගල්පාඬින්ට නං අපේ කකුලක් උනත් මෙලෙකට අහුවුනොත් කෑලි කඩං කන්නේය. කන්න පුලුවං දෙයක් නං බඩ පිරෙනකං ඒක ගිල දැමීමටත්, කන්න බැරි දෙයක්නම් "මේක මොන මගුලක්දැ"යි කියා පුප්පාගෙන යන්නටත් මාලුන්ගේ දෙමව්පියෝ උන්ට උගන්වා ඇත. අන්තිමට ගෙදර බත් හැලියත් හොදි හැලියත් කුණුවන්නට ඉතුරු වන්නේ නැත.


කඩෙන් ගේන ඇඟිලි විස්කෝතු, බුල්ටෝ, බබානයිස්, ටොපි, ආදී කැවිලි නං ඉතුරු වෙන්නේම නැත. ඒ වුනත් අපේ නැන්දා පාංපිටිවලට කුරහං පිටි ඇඹින්දක් කලවං කර සීනි කළඳක් තරම් මුහු කර කැන්ද කොලේ ඔතා හැලප ලෙස වෙස් ගන්නා තම්බා එවන පාප්ප ගුලි, සීනි පිට්ටු ලෙස වෙස්ගන්වා එවන යන්තම් පැණි රහ හාල් පිටි ගොඩවල්, වැනි සමහර “බලු හත්බල්ලෙකුට  (dog 7 dog) කන්න බැරි“ කෑම ජාති බිංදුවාගේ හතුරෙක්ටවත් දෙන්නේ නැත. ඒවාගේ වෙලාවට එව්වා ඔතා ඇති කඩදහිය විතරක් හතරට නමා කුස්සියේ බට පැලැල්ලේ රඳවන අපි ඒ කෑම ජාතිය සාමාන්‍ය වේගයෙන් හෙලපල්ලට විසිකරමු. එවිට ඒ පිටිගුලිය හෙලපල්ලේ තේ පේලි දෙක තුනක් පසුකරගෙන ගොස් “සාස්“ කියා ගස් අතරට වැටෙන්නේය.


ඉඳ හිට ගෙදරට ලැබෙන ඉස්කෝතු පෙට්ටියක් ආදී දුර්ලභ කෑමක් නං බොහෝ වෙලාවට ඉතුරුවෙන්නේ නැත. හැබැයි මැලිබන් ලෙමන් පප් එකේ නං මැද ක්‍රීම් ටික හූරාගෙන කා දෙපැත්තෙ පියං දෙක බල්ලට දාන්නෙමු. මේ කොයිකත් දමා තියෙන සොපිං කවරේ බට පැලැල්ලටත්, ඔතා තියෙන බවුම්පේපර් කවරෙ මේසෙ කොලේ යටටත් එයිට අස්සෙං තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය ආයිමත් බට පැලැල්ලටත් දමා ඉතුරු ඉටි කවර කෑලි ටික සුබ මොහොතින් ලිපට දාන්නෙමු. එයිනුත් ඉස්කෝතු අහුරා තියෙන ඉටි අච්චුව අරගෙන තියාගන්නේ ඒකේ ඉස්කෝතු අහුරා තිබූ කුහර අස්සේ එව්වා මෙව්වා (මෙතනට අයිති වන්නේ මංචාඩි ඇට, පාට කෑලි, පැන්සල් කොට, පාරෙං අහුලං එන ඇන, පරණ සතේ දෙකේ කාසි, බොත්තං, ඉඳිකටු, හැට්ටකටු, මකන කෑලි, ඉටිපංදං කොට, පාරෙ වැටිල තියෙන සමහර අරුමෝසං කෑලි, හූනු බිත්තර පැකැට්ටෙකේ තියෙන හමුදාකාරයො, කුරුල්ලෝ, වාහන වගේ ඉටි සෙල්ලම් බඩු වගේ ජාතිය) අහුරලා මේසෙ උඩිං තියන්න පුළුවං හිංදාය. මාසෙකට සැරයක් ගේන කිරි පෙට්ටියේ ඇතුලෙ තියෙන ඉටිකවරේ අපේ තාත්තාට පොරෝජං වන්නේ බුලත්විට කන ජාති දැමීමටය. බුලත් කොල හතරක් පහකුත්, දුංකල ඉරු බාගෙකුත්, සිද්දාලේප කුප්පියකට පුරෝපු හුණු ටිකකුත් හතරට පැලූ පුවක් ගෙඩි දෙකක් විතරත් දැමූ වරුවකට සෑහෙන විට සලාකයක් වැස්සට නොතෙමී තියාගන්නට මේ කවරෙට පුළුවංය. කිරි පෙට්ටියෙං පත්තරවලිං කපාගත් පිංතූර අලවා හදාගන්නා පිංතූර රෝලක් දාන ටීවියෙකක් හදාගන්නටත් එහෙමත් නැත්තං පියසේන මාමා වෙසක්කෙකට හදනා වර්ගයේ කුප්පි ලාම්පුවෙං වැඩකරන තොරණක් හදාගන්නටත් පුළුවන.


ගෙදරිං අයිං කෙරෙන බැට්ටි කෑලි, කැඩිච්ච පනා, හිල් වෙච්ච හෝ පැලිච්ච බාජන, කැඩිච්ච ටෝච්, ආදී ගෙදර පාවිච්චියෙං අයිං කෙරෙන එක බඩුවක්වත් අහක යන්නේ නැත. අපි එව්වා සේරම අපේ සෙල්ලං ගෙවල්වලට ගන්නෙමු. ටෝච් එකේ මැද බටේ විතරක් තිබුනොත් ඒකෙන් අපිට ටෝච් එකේ සිට සෙල්ලං කෝච්චියක ඉස්සරහ ලයිට්ටෙක දක්වා ඕනෑම එකක් මවාගන්නට පුළුවන. අඩිය හිල්වෙච්ච බාජනේක උනත් සෙල්ලං බත යසට ඉදෙන්නේය. මේ බඩු නැතිවෙන්නේ තවත් කලක් ගිහිං බල්ලන් උස්සාගෙන යාමෙං හෝ අම්මා මිදුල අතුගානකොට


"ගේ වටේටම ගුබ්බෑයං අටෝල අතුගාන්න විදිහක් නෑ. මොන අටමංගල්ලද මංද මෙව්ව අස්සෙ"


කියා අපේ විලාප මැද්දේ අසරණ සෙල්ලං ගෙවල් බවුන්ඩේසම පිටිං මුලිං උදුරා හෙලපල්ලට විසිකිරීමෙන්ය. ඔය විදිහට ගෙදරි අයිං කෙරෙන සේරම බඩුමුට්ටු කාලයක් ගිහිං සෙල්ලං ගේ හරහා හෙලපල්ලට විසි වෙන්නේය. ඒවායෙනුත් සමහර රෝල් වෙන්නට උපං හපංකං ඇති බැට්ටි කෑලි වගේ ඒවා හෙලපල්ලත් පහුකරගෙන රත්නෙ බාප්පගේ කුඹුරටම යන්නේය. රත්නෙ බාප්පා ඊළඟ පාර කුඹුර පුරං කොටද්දී "ටං" කියා උදැල්ලේ වදින්නේ ඒවාය. කුස්සියෙං එදිනෙදා අහක්වෙන ජාතිත් යන්නේ මේ පාරෙං හෙලපල්ලටමය. මේ හිංදා අපේ ගෙදර හෙලපල්ලේ තියෙන තේ ගස්වලට මාස හය හතකට පාරක් පෝර දැම්මාම ඇතිය.


අපේ දෙවෙනි පුංචම්මා නං කිසිම දෙයක් අහක දාන්නේ නැත. ගෙදරට ගේන පත්තරයේ පටං කාඩ්බෝඩ් පෙට්ටි, ඉටිකවර ආදී හැමදේම එක පිලිවෙලකට එක්කහු කර මිටි බඳින්නේය. කිරිපිටි පෙට්ටි, විස්කෝතු කවර, ටොපි කොල, සිකරැට් ඊයං කොල, තෑගි ඔතන කොල ආදී පුදුමාකාර එකතුවක් ඒ ගෙදර ඇත්තේය. තව කාගේ හෝ ගෙදරකට පත්තර පලුවක ඔතා හෝ කවරෙක දමා මොනවා හෝ යවන්නේ නම් ඒ පත්තර පලුව හෝ කවරේ ගේන්නට හැතැක්ම බාගෙ හමාර ගෙවාගෙන පුංචම්මා ඒ ගෙදරට යන්නේය. බීම මූඩි, බීම බට, ටොපි කොල, ආදී ඒවායිං හැදූ එක එක සුකුරුත්තං ඒ ගෙදර සාලේ බිත්තිවල දකින්නට පුළුවන. ගෙදරින් කැඩී බිඳී අයිංවෙන විදුරු, බාජන ආදියටත් කොල කෑලි, පීන්තූර, පබුලු ආදිය අලවා අමුතුම ආකාරයේ ඇටවුම් හදා "ලස්සනට" සාලේ කැබිනට්, ටීපෝ ආදිය උඩ තියන්නට පුංචම්මා දක්සය. උන්දෑට එව්වාට මග පෙන්වන්නේ සිරිකත පත්තරෙන්ය. අපේ අතක් පයක් ඒ ගෙදර ටීපෝවක, කබඩ්ඩෙහෙක වැදුනොත් පෙරලෙන්නට මාන බලාගෙන ඉන්නා ඒ "අලංකාර" ද්‍රව්‍ය නිසා අපි ඒ ගෙදරට ඇතුල්වෙන්නේ ඉස්කෝලේ පින්සිබල්ගේ ඔපිස්සෙකට යන්නා හා සමානව පුදුමාකාර බයකින්ය. බැරිවෙලාවත් අපේ අතක් පයක් වැදී එයිං අලංකාර වස්තු දුසිමක්වත් බිම වැටී කැඩී ගියොත් පුංචම්මා සතියක පමණ ශෝක කාලයක් පවත්වමින් දෙවෙනි වරටත් කැඩී ගිය ඒ බඩුමුට්ටු වෙනුවෙං අඬා දොඩා වැලපෙන්නේය. ඉං පස්සේ ඒ දෙවෙනි මට්ටමේ සුංබුං ගොඩෙං කලින් තිවුනාටත් වඩා 'අලංකාර' වගේම හුළඟටත් 'පෙරලෙන සුලු' ලස්සන ජාති හදන්නේය. ඒ හංදා පුංචම්මා පවුලක් පන්සලක් උනායින් පස්සේ ගෙදරට ගෙනා වීදුරු බඩු සේරම තවමත් ගෙදර තියෙන්නේය.


අපේ ගෙදර වීදුරු බඩුවක් බිඳුනොත් ඒක අස් කරනකං ඉන්න බැරුව ඒක උඩිං එහා මෙහා යන්න ගිහිං කකුල කපාගන්නවා ඇරෙන්නට වෙනිං වැඩක් ගන්නට බැරිය. ඒ වගේ වෙලාවට ඉතුරු වෙච්ච ලොකුම කෑල්ල උඩට අනික් වීදුරු කටු ටිකත් පුරවා ඒ සේරම ගිහිං දමන්නේ වැසිකිලිවලටය. අපේ ගෙදර තිවුනේ වල වැසිකිලියක් හිංදා මේ වැඩේ ලේසිය. පෝච්චි වැසිකිලි තියෙන ගෙවල්වල වීදුරු කටු වැසිකිලියේ වලට  දාන්නට බැරි හංදා වැසිකිලියේ වහලෙ උඩ එව්වා ගොඩ ගහන්නේය.


අපේ ගමේ කුණු ප්‍රතිචක්‍රීයකරණයට උදව්වෙන්නේ පුස්ප නැන්දගේ මොන්ටිසෝරියයි. පුස්ප නැන්දා උන්හිටිගමන් මොන්ටිසෝරියේ ළමයින්ට නියෝග නිකුත් කරන්නේය.


"හෙට එනකොට එක්කෙනා බීම බට තුනකුයි පාට පාට ටොපි කොල විස්සකුයි ගේන්න ඕනි. තේරුණාද?"


ඒ වගේ වෙලාවට ළමයි සේරම


"ඔවූඌ"


කියන්නේය.


එදා හවසට මුළු ගමම එකම ජංජාලයක්ය. සමහර දෙමව්පියෝ බීම බට විස්සකුත් ටොපි කොල තුනකුයි හොයන විට තවත් සමහරු ටොපි කොල විතරක් හොයන්නේය. තව කොටසක් හොයන්නේ බීම බට විතරය. ළමයිංගේ ගනං මතක තියාගැනීම එහෙමය. ඒ කාලේ බීම බෝතලයක් බොනකොට බීම බටයක් දෙනවා ඇරෙන්නට පැකට් පිටිං විකුණන්නට බීම බට කඩවල්වල තිබුනේ නැත. කඩේක බීම බෝතලයක් විකිනෙන්නේ සතියකට හමාරකට සැරයක් හිංදා කඩ මිදුලේ බීම බටයක් දෙකකට වැඩියෙං තියෙන්නට විදිහක් නැත. ඒ හංදා බීම බට හොයන අය කඩේ මිදුලේ හොයා බලා බීම බට නැති වුනොත් මිදුල අතුගා කොලගොඩවල් ගිහිං දාන හෙලපල්ලට වෙනකම්ම යන්නේය. එතන කොලගොඩවල් හාරගෙන අවුස්සං කන රත්නෙ බාප්පගේ කුකුල් රංචුවත් කලුකුං ජෝඩුවත් "ෂෝ" කියා එළවා දමා කොල ගොඩවල් අවුස්ස අවුස්සා බීම බට හොයන්නේය. බීම බට විස්සක් හොයන ළමයාගේ අම්මා එතනට කඩා වැදුනොත් අනික් අයට ඉතුරුවක් වෙන්නේම නැත. සමහරු එතන පොලව පාදා හාරා බලන්නේ මැතිනිගෙ කාලෙ බීම බටයක්වත් තියේදැයි බලන්නටය. සමහර වෙලාවට අපේ ආච්චම්මා හෝඩුවාවල් දෙන්නේය.


"ගිය සුමානෙ මහතුල්ලෑ ගෙදෙට්ට බීම්බෝතලෙයක් ගිනිච්චා. ආං එහෙ ගියොත් සමහර විට ඒක ඉල්ලගත්තැහැකි."


ආච්චි අම්මාගේ ඔත්තුවට ළමයිංගේ අම්මලා දුසිං ගානක් මහතුං මාමලගෙ ගෙදර යන්නේ එක බීම බටයක් ඉල්ලා ගන්නටය. ඒ වෙනකොට ඒක කලිං ආපු කෙනෙක් ඩැහැගෙන ගිහිං ඉවරය. මේ හංදා ළමයිංගේ අම්මලා නිකගොඩ හංදියේ දරුමසේන මාමගේ කඩේ පටං එගොඩහ ගොඩේ කරුණාවතී ඉස්කෝලෙ හාමිනේගේ කඩේ දක්වාම යන්නේ බීම බට එක්කහු කරන්නටය. සමහර අම්මලා රුපියල් තුනක් වියදං කරගෙන ටවුමට යන්නේ ටවුමේ කඩවල් ඉස්සරහ තියෙන බීම බට අහුලං එන්නටය. වැඩි වෙලාවක් යන්නට පෙර හදිසියේ සිහිමුර්ජා වෙච්ච ලෙඩෙක්ට බෙහෙතක් හදන්නටවත් ටොපි කොලයක් අහල ගං හතක නැති වන්නේය. කොහෙං හෝ හොයාගන්නා මේ බීම බටත්, ටොපි කොලත් මොන්ටිසෝරියට ගෙනගිය විට ඒ ටොපි කොල රැලි හිටින්නට නැමී තුනටියටත් පොඩි බීම බට කෑල්ලක් පලන්දාගෙන දෙකොන විහිදාගෙන නූලක එල්ලෙන්නේය. ඒවා සමනල්ලු බව පොඩි ළමයින්ට තේරුං කරන්නට පුස්ප නැංදාට සිද්දවෙන අතර ඒ ළමයිනුත් තමුංගේ අත්කම් නිර්මාණය ගෙදර අයට පෙන්වා එව්වා සමනල්ලු බව හය හතර නොදත් දෙමව්පියන්ට තේරුං කරන්නේය.


ඒ විදිහටම සමහර කාලවලදී නොයෙක් රූප, කාඩ්බෝඩ් පෙට්ටි, ආදී කඩදහි ජාතිද ගේන්නටද පුස්ප නැංදා කියන්නේය. එතකොට අපිත් එක්ක වැඩි කතාබහක් නැති අයත් අපේ ගෙදරට ඇවිත් චාටුවට කතා කර අපේ අම්මා බට පැලැල්ලේ පතුරු අතරේ හිරකරගෙන තියෙන කාඩ්බෝඩ් පෙට්ටි ඩැහැගෙන යන්නේය. මොන්ටිසෝරියට වේලාපු පොල් කුඩු ඕනෑ කී විට හොද්දට කිරි ටික මිරිකනකං බලා ඉඳලා පොල් රොඩු ටික ගෙනියන්නට අම්මලා එන්නේය.


මේ විදිහටම තව කෙනෙක් ප්‍රතිචක්‍රීකරණයට හවුල් වන්නේය. ඒ අවුරුද්දකට විතර සැරයක් පෝර කවරයක් අරගෙන එන තවත් මනුස්සයෙකි. එයා


"පරණ බෝතල්, ඇල්මේනියං එහෙම තියෙනවද"


කියා බොහොම සද්දෙට අහන්නේය. ගෙදර පිරිමියෙක් නොහිටියොත් බලෙම්ම වගේ තියෙන දෙයක් අරගෙන යන්නේය. අපේ ආච්චම්මාත් (මේ කියන්නේ තාත්තගෙ අම්මාය) මාත් හිටි දවසක එහෙම කඩා පැන්න මිනිහෙක්


"මොන රෙද්දකට මෙව්ව ගොඩගහං ඉන්නවද. ගේ වටේම සර්පයි බෝවෙනව. අනික්ගමන කාපිනං වෙදකමේ යන්න වෙනව."


කියා අපිටත් බැණ අඬගසා අපේ පිලිකන්නේ තිවුණු වීදුරු බෝතල් සේරමත් කවරෙට දමාගෙන ආච්චම්මා වැසිකිලියට ගෙනියන ඇල්මේනියං කෝප්පෙත් පයිං පාගා තලා ඒ කවරෙටම දාගෙන ආච්චම්මාට රුපියල් එකයි හැත්ත පහක් දීලා ගියේ "මෙතන වැඩියත් එක්ක තියෙනවා" කියාගෙනය. ඒ මනුස්සයාම කරුණෙ මාමලගෙ පිලිකන්නේ තිවුණු බෝතල් ගොඩත් අරගෙන ගිහිං තිබුණේ ඒ අස්සේ හංගා තිබූ කසිප්පු ඉස්පීට් බෝතලෙත් එක්කමය.


පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කුණු ගොඩවල් හිංදා රටේ ඇතිවුුනු කුණු ගොඩවල් දැක්කම හිතුනේ හැම ගෙදරකටම හෙලපල්ලක් වගේම සෙල්ලං ගෙයකුත් තියෙන්නට ඕනෑ බවය. සෙනසුරාදා ඉරිදා පන්ති නවත්තා ළමයි සෙල්ලං ගෙවල්වලට යොමුකරනවා වගේම සතියේ දවස්වල බඩේ අමාරු, දතේ අමාරු හැදී ගෙදර නවතින ළමයින්ටත් එදා දවසේ ඒ සෙල්ලං ගෙවල්වල සෙල්ලං කරන්න පුළුවං බව දෙමව්පියෝ අවබෝධ කරගන්නටත් ඕනාය. ඒ වගේම අපේ පුංචම්මා වගේ කැඩෙන බිඳෙන බඩුමුට්ටු ගේ ඇතුලෙම තියාගෙන ඉන්නට එව්වා නොයෙක් විදිහෙන් වෙස්ගන්වා "ලස්සනට තියන බඩු" බවට පත්කරන්නට පුළුවං ඇස්බැන්දුංකාරියන් තව වැඩිකරන්නටත් ඕනෑය. ඒ අතරම ගෙවල් මණ්ඩියට හත් අට දෙනෙක්ගෙන් යුතු බලු රංචුවක්, බලල් නරි කීප දෙනෙක් වගේම තලගොයි කීප දෙනෙකුත් ඇතිකරන්නටත් කටයුතු කරන්නට ඕනෑය. පුස්ප නැංදාගේ මොන්ටිසෝරිය වගේ පොල් කුඩු, තේ රොඩු, ටොපි කොළ, බීම බට, සිකරැට් කොට ආදී හැම දේකින්ම අත්කම් හදන්නට පුළුවං මොන්ටිසෝරි ඇති කරන්නට ඕනෑය. ගෙවල්වල උයන පිහන වලං, ඇතිලි, තාච්චි ආදිය හෝදන්නට සබං කොම්පැණිවල අනුග්‍රහයෙං තොටුපලවල් ඇති කර එව්වායේ මාලුද ඇති කරන්නට පුළුවන. එතකොට කඳුගහන්නට කුණක් ඉතුරු වන්නේ නැත.

Saturday, May 13, 2017

දානේ....

මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.

දානේ පටං ගන්නේ 

“අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“

කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං

“හා“ 

කියනවා. මේ වැඩේට ගැලපෙන දවස ඉරිදා. ඒ හංදා ඉරිදාට කලිං අවශ්‍ය දාන කලමනා ගෙනැත් තියාගන්න ඕනෑ. ඒ හංදා චූටි මැණිකේගෙ ප්‍රධානත්වයෙන් කුස්සියෙ පැවැත්වෙන සාකච්ඡාවෙන් මෙහෙම කියවෙනව.

“හාල් ගෙනාපුව තියෙනවනෙ. අර බාගෙට තම්බපු හාල් ජාතිය තාම ඉඳුල් කෙරුවෙ නෑනෙ. ඒක ගත්තැකි. එතකොට අර කංකුං මිටියත් තියෙනව පිජ්ජෙකේ. ඒක ඉන්න බලන්න පොඩ්ඩක්............................. ඔය ඉතිං සූකිරී කකුල අරෙහෙට ගන්නකො මට මේ කංකුං මිටිය තියෙද බලන්න දොර අරින්න. ඔන්න මං දන්නෑ නැට්ටහුවෙයි. මොකද්ද සුදු නෝනා මේ ඔයාගෙ ළමය කරන වැඩ.......... මට මෙලව දෙයක් කරගන්න දෙන්නෑ....නේ.....  ආ මේ තියෙන්නෙ. ඒක හොඳයි. කෝ අහකට වෙන්න දොර වහන්න. අනේ ඕකෙ ඔයාට බලන්න දෙයක් නෑ සූ....කිරී... හරි එතකොට පොල්තෙල් තමයි වැඩේ. පොල්තෙල් කාලක්වත් නෑ. පොල්තෙල්නං ගේන්න වෙනව. එහෙනං අපි බත්තුයල, පපඩං බැදල, පරිප්පු තෙලට හදල, අල බැදල, ආ... තවෝන්නං මිරිසුත් බැදල. මේ කංකුං මිටියත් බැදල මේ... පිලී ජාති ඔලට සැමන්නෙකක් ගේමු. අර චීන සැමන්නෙක නං හරිනෑ. ඒව මේ අපේ සූකිරි කන්නෙත් නෑ, සුදු නෝන කන්නෙත් නෑ. ඒ ටික හදල දෙමු නේද? ඇතිනෙ. ඔන්න මං කිව්ව වෙනස් කරන්න තියෙනං කියන්න“

මං එතකොට ‘හා එහෙම හොඳා‘ කියනවා. ඊට පස්සෙ ඕක දෙන්නටම අමතක වෙලා යනව. ආයිමත් මතක් වෙන්නෙ සෙනසුරාදා හවස හතරට විතර.

“මේ.. ඇහුනද? ඈ... ඕකම ඔබ ඔබා ඉන්නෙ ඔය පෝන්නෙක මං දැං හංගනව කොට්ටෙයට. මේ අහන්නකො. හෙට දානෙයක් දෙමු කියල කතාඋනා නේද? බඩු ගේන්නැද්ද?“

අන්න එතකොට මං උඩ විසිවෙලා ඇහැරෙනව.

“අප්පට සිරි.“

“මට හොඳ වෙලාවට මතක්කුනේ. එහෙනං දැම්ම ගිහිං බඩුටික අරං එන්න. තම්බියෑ කඩෙං ඇරං එන්න. ඒකෙ ගානාඩුයි. ඉන්න මං තුණ්ඩුවක් ලියා දෙන්න“

ඒ තුණ්ඩුවත් අරං ටවුමට ගිහිං බයිසිකලේ කොහේ හරි ඉඩ ඇති තැනක නවත්තල ‘අසුවල් පුපර් මාට්‘ එකට ගිහිං බඩුටික ගන්නව. ආං එතකොට කෝල් එකක් එනව.

“අනේ මට ඔය කුණ්ඩුවෙ ලියන්න බැරි උනා. කුන්දු මිටියකුත් ගේන්න. සැමන්නොලට කුන්දු දාන්නෝන.“

එතකොට මං ආයිමත් “හා“ කියල කුරුඳු මිටියක් සාක්කුවට දාගෙන පෝන්නෙක බඩු කූඩෙට දානව. ඊළඟට පපඩං පැකට් එක එක ජාතිය අතට අරං ඒ එක එක ජාතියෙ පපඩං රවුං කීයක් තියෙනවද කියල කවරෙට පිටිං ගනං කරකර ඉන්නකොට ආයිමත් ඔන්න පෝන්නෙක වදිනව.

අවිඤ්ඤානිකව සාක්කුවට අතදාල පෝන්නෙක එලියට ගන්න බැලුවට සාක්කුවෙ තියෙන්නෙ ඉටිකවරයක්. එලියට ඇදල ගත්තම කුරුඳු පොතු පැකට්ටක. එතකොට කොහෙද බොලේ පෝන්නෙක කියල හොයද්දි ඒක කූඩෙ ඇතුලෙ පරිප්පු කවරෙට යටවෙලා හුස්ම හිරවෙලා. ඒක අස්සෙ ඉඳං එඩ්වඩ් මායා කෑ ගහනව.

“අතිකනා හම්මේකිට්මයාට්...නීක්කි නිකිනිං නිකිනිං නිකිනිං නාක්“

ආන්න එතකොට මං කුරුඳු පැකට්ටෙක කූඩෙට දාලා කූඩෙං පෝන්නෙක අතට අරං “හලෝ“ කියනව.

“අනේ මේ.. ඔයා ගාව දානෙට වෙංකරපු සල්ලි ඇර තව සල්ලි තියෙද“

ඒකට “ඔව්“ කිව්වහම

“අනේ එහෙනං එනගමං පාං ගෙඩ්ඩක් ගේන්නකො. සූකිරිටයි සුදුනෝනටයි බනිස් ගෙඩ්ඩකුත් ගේන්න හොන්ද“

ඒකටත් “හා“ කියල පෝන්නෙක සාක්කුවට දාගන්නව. මෙතනිං ගන්න බඩු ටික අරගෙන ඊළගට බේකරියට ගිහිං පානුයි බනිසුයි අරගෙන සිරිපාලගෙ කඩේ ලගිං පුස්තකාල පාරට හැරෙනකොටම අදුරන කවුරු හරි හම්බුවෙනව.

“ආ.. සුරාමාතය කොහෙද මේ අතිං කටිං එල්ලගෙන“

“ආ.. නෑ.. මේ බඩු ඩිංගක් ඇරං යන්නාව තිලකෙ. අද මොකක් වැඩේ?“

“මොකොවහ් නෑ ඉතිං. ඔය පොඩි පොඩි මොනව හරි තමා“

ආං එහෙම කයිවාරුවක් ගහගෙන ඉදල 

“මයියන්නං තිලකෙ“

කියල එන්න එනකොට එයා

“හෙල්මට්ටෙක අතේ මොකෝ. කෝ බයිසියලේ?“

කියල අහනව. ආං එතකොට මට මතක් වෙනව බයිසිකලේනෙ ආවෙ කියල. ඉං පස්සෙ ආපහු ගිහිං බසාර්රෙක දිගේ පහලට ගිහං දෙතුං පාරක් පහල වීදියෙ එහාට මෙහාට ඇවිද්දහම අලුත්ම ඩොල්පින් වෑන් එකකුයි කෝටියක් විතර වටින, යංතං හීරුනත් පේන තරමෙ දිලිසෙන කාර් එකකුයි අතරෙ ගැවෙන නොගෑවෙන තරමිං අඩි එකහමාරක විතර පලල තීරුවක හිරවෙලා ඉන්න බයිසිකලේ හොයාගන්න පුලුවං. ඉං පස්සෙ තියෙන්නෙ අර රටක් වටින වාහන දෙකේ බයිසිකලේවත්, බඩු මලු දෙකවත් නොගෑවෙන්න බොහොම වැර වෑයමෙං පරිස්සමෙං මිලි මීටරෙං මිලි මීටරේට හතර වටේ බල බලා බයිසිකලේ එතනිං එලියට ගන්න එක. කපීර් යානාවකට වඩා ආරක්ෂක උපක්‍රම හයිකරල තියෙන ඔය වාහනේකට වෙනිං වාහනේක හුස්ම වැදුනත් අර වාරියපොල ලමිස්සි වගේ සයිරන් එක ගහනව නෙවැ. විනාඩි දහයක් විතර මහන්සි වෙලා ඒ මර උගුලෙං බයිසිකලේ එලියට ගත්ත ගමං අර දෙපැත්තෙම තිවුණ රටක් වටින වාහන දෙකමත් යන්න යනව. ආං එතකොට මොහිදීන් බෙග් මාස්ටර් කියන සිංදුවක් මතක් වෙනව. 

“එමවිට පවසනු මුවින් ඔබේ.... මුංගෙ #%@6 %^$&“

පහල වීදිය දිගේ දෙපැත්තටම වාහන යන්න බැරි හංදා ඊළඟට එන හතරමං හන්දිය වෙනකං ඉස්සරහට ගිහිං ආපහු උඩහට නැත්තං පහලට හරෝගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. එහෙම ගෙදර ආවහම 

“අනේ හැබෑට ඔයා බනිස් පුච්චනකං හිටියද“

කියලා පිළිගැනීමක් ලැබෙනවා. 

දැං ඉඳං මෙතන පිං අතේ වැඩක් සහසුද්දෙම්ම කෙරෙන්න යන වග සකල ලෝක වාසී සියළුම බූතයන්ට, යක්කුන්ට, පෙරේතයන්ට, බාල්දි, තොප්පි තොරොට්ටං වලට පේන හිංද අපි බොහොම පරිස්සං වෙන්න ඕනැ. ඒ කියන්නෙ එතන ඉඳං සේරම දේවල් සිද්ද වෙන්නෙ අපිට හුලහට හිටින්න. එව්වා ඉදිරියෙදි විස්තර කෙරෙනවා.

පහුවදා ඉරිදා හිමිදිරි පාන්දර හතහමාරට විතර ඇහැරිච්චි ගමං මං කොට්ටෙ යටිං ටෙලිපෝන් එක අරං ඒකෙ තිරෙං වෙලාව බලල 

“හුටාපරිජාලං හාමාරයි වෙලාව. දානෙ උයන්නත් තියෙනව නේද?“

කියලා බිරුසන් දෙනව. එතකොට චූටි මැණිකෙ 

“ඇයි අනේ කෑගහන්නෙ සූකිරියා මොකක් හරි ඇඟට පෙල්ලගෙනද? ඈයනේ.. කියන්නකො“

කියල බයවෙලා අහනවා. ආං එතකොට තලෙයා තාමත් නකුට කටේ ගහගෙන තැටිය උඩ නිදාගෙන ඉන්න වගත් උට ආංතරාවක් නැති වගත් දැං හතහමාරත් පහුවෙලා හිංදා දානෙ වියන්න පරක්කු වෙන බවත් කිව්වහම,

“ආ... ඒකට ඒ හැටි වෙලා යන්නෑ. ඔයාට තියෙන්නෙ පොල්ටික ගාල කොල්ටික කපල සැමන්ටිං එක කඩල දෙන්න ඉතරයි. මං ඉතුරු ටික කරන්නං. ආ... කොල කපන්නත් නෑනෙ. කංකුංනං මට කැපියැහැකි.“

කියලා උත්තර ලැබෙනවා. 

වෙනදට උදේට දොර ඇරපු ගමං දඩාවතේ යන බලල්ලු දෙන්නා දානෙට සම්මාදං වෙන්න ඕනැ හංදා එදා දවසේ කොහෙවත් නොයා ගෙදර රැඳෙනවා. ඒ කියන්නේ හරියටම කුස්සිය මැද වලිග දෙකත් එලාගෙන ඉඳගන්නවා. එතකොට කුස්සියෙ ඇවිදින හැම අඩියක්ම පරිස්සමට අඩිය තියන්න වෙනවා. නැත්නං “ඥෑහුග්“ කියන සද්දෙත් එක්ක මොකක් හෝ බලල් අවයවයක් අපිට පෑගෙනවා. ඒ හංදා හාල්මැස්සො, චොකලට් විස්කෝතු, කිරි ආදී නොයෙක් කප්පම් දීලා බලල්ලු දෙන්නව පිජ්ජෙක උඩට ගාල් කරගන්න ඕනි.

ගෙදර තියෙන බත් උයන්නාව (Rice Cooker) පොඩි හංදා බත් උයන්න වෙන්නෙ දෙපාරකට. ඒ අතරෙ 
“ඔයා මේ කොල මිටිය සුද්ද කොරන්නකො“

කියලා කංකුං මිටියක් එක්ක ඇතුල්පතක් අතට ලැබෙනව. කංකුංවල ඉදිච්චි කොල, මෝරච්ච කොටස් එහෙම බිමට දාද්දි එව්වා මොනවදැයි බලන්න බලල්ලු දෙන්නට ඕනැ වෙනව. ඉතිං උං දෙන්නා පිජ්ජෙකෙං බිමට පනිනව. ඔඩොක්කුවෙ තියෙන ජාතිය මොකක්දැයි බලන්න තලයා කලිසමෙත් එල්ලෙනවා. එතකොට

“අපෝයි.... මේකා මාව හීරුවා....“

කියලා බිරුසන් දුන්නහම

“ඔයාට ඉතිං ඔය පූසව පේන්න බෑනෙ. උට වෙනස්කංමයි කරන්නෙ.“

කියලා උත්තර ලැබෙනවා. කොල ටික සුද්ද කලාට පස්සෙ බලල්ලු දෙන්නා අරං පිජ්ජෙක උඩිං තියලා ආයිමත් අත හෝදගෙන පොල් ගාන්න ඕනැ. මේක දානයක් හිංදා අලුත් පොල් ගෙඩියක් බිඳලා ගන්න ඕනැ. ඒ කියන්නෙ කලිං දවසෙ ඉතුරු පොල් බෑය ගන්නෙ නෑ. දැං බිඳින පොල් ගෙඩියෙ වතුර ටිකත් සින්ක් එකටම හලලා අහක දානව මිසක් බොන්න හොඳ නෑ. පොල් බෑ දෙක පැත්තක තියලා හිරමනේ හයිකරපු මේසෙ ළඟ තියෙන පුටුව මේසෙ ඉඳන් බලල් පැනුමකට වඩා දුරින් තියන්න ඕනෑ. ඉං පස්සෙ හිරමන තලේ ගලවලා අරං හෝදලා ආපහු හිරමනේට හයි කරන්න ඕනෑ. ඉං පස්සෙ පොල් බෑය හිරමනේට තියලා වට දෙකක් කරකවනකොටම “දඩිස් තොස්“ කියලා බලල්ලු දෙන්නා පිජ්ජෙකෙං බිමට පැනලා පුටුව උඩට නගින්නෙ එතනිං මේසෙට පනින්න බලාගෙන. ඒ හංදා තමයි පුටුව බලල් පැනුමකට වඩා දුරකින් තියන්නෙ. එතකොට බලලා පුටුවෙ ඉඳං මේසෙට කිට්ටුම කෙලවරට ඇවිල්ලා බලල් අණ්ඩ දික්කරලා මේසෙට පනින්න දුර වැඩි බව දැනගෙන උද්ඝෝෂනේ පටං ගන්නව. එතකොට කුස්සියෙං ඇහෙන ගාලගෝට්ටිය මේ වගෙයි.
ඒ වුනාට බලල්ලුන්ට මේ ගාන පොල් රැලක්වත් දෙන්න හොද නෑ. පොල් ටික ගාලා ඉවරවෙලා එතනිං අහකට ගනිද්දි මළගෙදරක මිනිය උස්සන වෙලාවට ගෑනු අය විලාප තියනව වගේ බලල්ලු දෙන්නා කෑ ගහනව. එතකොට

“අනේ අර ඊයෙ ඉතුරු පොල් බෑයෙං ටිකක් මේ දෙන්නට ගාල දෙන්න. පවුනෙ“

කියලා උපදෙස් ලැබෙනවා. එතකොට ආයිමත් හිරමනේ පිහදාලා අරං බලලුන්ට වෙනම පොල් ගාලා දෙන්න ඕනැ. එයිං පස්සෙ ආපහු බලල්ලු දෙන්නා පිජ්ජෙක උඩිං තියල අතහෝදගන්නව. මේ වෙනකොට අල තැම්බිලා බත ඉදිලා. චූටි මැණිකෙ පරිප්පු හොද්දක් එක්ක ඔට්ටු වෙද්දිමං තැම්බුණු අල ටික සුද්ද කරනව. කොල ටිකත් කපල දෙනව. ඊළඟට තමයි බැරෑරුම් අවස්ථාව වෙන සැමන්ටින් කැඩිල්ල යෙදෙන්නෙ. මෙතනදි මුලිම්ම බලල්ලු දෙන්නව කුස්සියෙන් එළියට දාලා කුස්සියෙ දොර තද වෙන්න වහගන්න ඕනි. ඉං පස්සෙ මිටියයි වප්පිහියයි අරගෙන පිහියෙ තුඩ ටින් එකේ පියනෙ දාරෙට තියලා පිහියට මිටියෙං ගහන්න ඕනැ. මේ විදිහට මිටි පාරවල් දෙකක් වදිද්දි කුස්සියෙං පිට ඉන්න බලල්ලු දෙන්නට සත්‍යාවබෝධය ලැබෙනවා. එතකොට බලල්ලු දෙන්නා ස්පාඤ්ඤ බාසාවෙ තියෙන සේරම නරක වචන කියන ගමං “දොර ඇරපියාව්“ කියලා කුස්සියෙ දොරේ එලිය පැත්තේ දොර බෝලෙ එල්ලෙනව. මෙතනදි ඉඳුල් නොකිරීම කියන සිල් පදය අතාරින්න අපිට සිද්දවෙනව. 

“පව්නෙ නේද?“

කියලා කල්පනා කරලා සැමන් ටින් එකේ තියෙන මහා වතුර කඳත් එක්කම සැමන් කුට්ටියකුත් දෙකට කඩලා බලල් පිඟං දෙකට දාලා බලල්ලු දෙන්නට දෙනවා. ඉං පස්සෙ තියෙන්නෙ කෑම ඔතන්න කොල කැපිල්ල. මේකට කෙක්කක් තියෙන රිටකුත් පිහියකුත් ඕනැ වෙනවා. කෙක්ක පටලවලා පාත් කරන කෙහෙල් අත්තෙ මැද පීල්ලෙ තියෙන වතුර ටික ඇඟට හැලෙන්නෙ නැතිවෙන්න අගිස්ස කපාගෙන අත්ත අතාරිනවා. සමහර කෙහෙල් අතු නං උඩ පැනලා දෙන එක පිහි පාරෙං කැපෙනවා. කාලයක් තිස්සෙ මෙහෙම කෙහෙල් අතු කපන හංදා අපේ වත්තෙ කෙහෙල් ගස් සේරම අතු බාග තියෙන ගස්.

මේ විදිහට කෙහෙල් අතු කපද්දි අල්ලපු වතුවල අය අපිට ආභරණ විදිහට තෑගි දීපු බෝතල් කටු, කම්බි, යකඩ ඇන එහෙමත් කකුලෙ පළඳගන්න වාසනාව ලැබෙනව. මෙහෙම කපාගන්න කෙහෙල් කොල ඉරෙන්නෙ නැතුව පරිස්සං කරන එක ලේසි නෑ. ඒ හංදා කොල හයක වැඩේට කොල දහයක් විතර කපන්න ඕනෑ. ඒ කෙහෙල් අගිස් ගෙනත් ඒවයෙ දෙපැත්තෙම විම් සබං ගාල හෝදද්දි තවත් කොල එකක් දෙකක් ඉරෙනවා. 


කෙහෙල් කොල

මේ වෙනකොට උයලා ඉවරයි. බලල්ලු දෙන්නත් තමුංගෙ කප්පම අරගෙන දොරකඩට වෙලා මූන අතපය හෝදනවා. ඊළඟට පොල් කටු හත අටක් තලලා අරගෙන දර ලිපේ විසාල ගිනි ජාලාවක් පත්තු කරගන්නවා. ඒ ගින්දරට කෙහෙල් කොලේ යටි පැත්ත අල්ලලා තවාගන්නවා. මෙතනදිත් අඩුම වසයෙන් එක කෙහෙල් කොලයක්වත් හරියටම මැදකිං ඉරිල යනවා. සමහර වෙලාවට කෙහෙල් කොල තවලා ඉවර වෙද්දි ආයෙමත් කොල කපන්න යන්නත් වෙනවා.

බත් මුල් බැඳෙන්නෙ මේ විදිහට. 





මෙතනදි පපඩං, මිරිස් එහෙම වෙනම කවරෙකට දාල තියන්නෙ එව්වා පොඟනවට.


මෙහෙම බැඳෙන බත් මුල් සේරම කවරෙක අඩුක් කරගන්නවා. 







යාචකයින්ගෙ ප්‍රධාන අරමුණ සල්ලිනෙ. ඒ කාටත් සතුටු හිතෙන්නෙ සල්ලි ලැබුණහම. ඒ හංදා බැඳිච්චි බත් මුල් ගානටම සල්ලිත් ගන්න ඕනැ.

මේවා බෙදන්න යන වැඩේට හොඳම වාහනේ මොටෝ සයිකලේ. නිතර බයිසිකලේට නගින්න බහින්න වෙන හංදා මේ ගමනට දෙන්නටම ගැලපෙන ඇඳුම කලිසම. 



හැබැයි කමිසෙට සාක්කුවක් තියෙන්නම ඕනැ. කලිං කියපු සල්ලි කොල ටික එක එකක් වෙන වෙනම නවලා ඒ සාක්කුවෙ දාගන්න ඕනි. ඊළඟට පාරෙ යන වාහනවලින් අතුරු ආන්තරාවක් නොවෙන්න කියලා හිතාගෙන සුභ මොහොතින් පාරට බහින්නයි තියෙන්නෙ. පළවෙනියටම යන්නෙ සේනානායක පිට්ටනියෙ කෙලවරට. ඒ යන ඩිංගට වමෙං ඉස්සර කරන බයිසිකල්, මූනට පනින බස්, ඇඟට කපන ත්‍රීවිල් වල අයට එහෙම මොනවත් කියන්න නරකයි. ඒ ගමංම කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිසත් ගනං කරගෙන යන්න ඕනැ.  පිට්ටනියෙ අයිනෙ අතුරු පාරෙං නීත්‍යානුකූල විදිහට බයිසිකලේ නවත්තලා ආපහු ප්‍රධාන පාරට ආවම පලවෙනි දානෙ ලබන්නා පාර අයිනෙ ඉන්නවා. එයාට බත් පාර්සලයක් දුන්නම


“අපෙයම්මට ගීං දෙන්න තව පාර්සලයක් දෙනවද නෝනා“

කියලා එයා චූටි මැණිකෙගෙං අහනව. එයාට පාර්සල් දෙකක් දීලා සල්ලිත් දීලා ආපහු හැරෙනවා. ඉං පස්සෙ එයා ඒක කනවද, විසිකරනවද, විකුණනවද කියන එක හොයන්න හොඳ නෑ. ඒ මිනිස්සුංගෙ පොටෝ ගහලා ෆේස්බුක් එකේ එහෙම දාන එකත් ඒ තරං හොඳ දෙයක් නෙවෙයි. වට පිටේ ඉන්න මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන එකවත් බලන්න හොඳ නෑ. ආපහු අතුරු පාරෙං බයිසිකලේ අරගෙන කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිස හොයාගෙන යනවා. එතන වාහන නවත්තන්න තහනං හින්දා බයිසිකලේ පුස්තකාලෙ ඉස්සරහ දාලා කහ ඉරක් හොයාගෙන තව ටික දුරක් ගිහිල්ලා එතනිං පාර පැනලා පාරෙ අනෙක් පැත්ත දිගේ කච්චේරිය ගාවට ගිහිං එතන ඉන්න දෙතුන් දෙනාටත් දානෙ දීලා ආපහු කහ ඉර හොයාගෙන ඇවිත් පාර පැනලා බයිසිකලේ තියෙන තැනට ගිහිං ඒකෙ නැගිලා මුතියංගණය පන්සල ගාවට යනවා. එතනත් කඩ ලෑලි ටික පහුකරලා එහාට ගිහිං ඉඩ තියෙන තැනක බයිසිකලේ නවත්තල ඇවිත් පන්සල ඉස්සරහ ඉන්න දෙන්නට ඉතුරු පාර්සල් දෙකත් සල්ලිත් දෙනවා. සමහර වෙලාවට කට්ටිය වැඩිවෙලා කෑම පාර්සල් මදිවෙනවා. එතකොට ඉතිරි අයට කෑම කඩෙං ගන්න කියලා සල්ලි දෙනවා. ආපහු හැරෙනකොට ලොතරැයිකාරයා.

“පිං කරගෙන යන ගමං වාසනාව උරගා බලන්න.“

කියලා ටිකට් පොතක් අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකට අහුවෙන්නෙ නැතුව අපි ආපහු ගෙදර එනවා. එතකොට උදේ දහයත් පහුවෙලා. ඊළඟට පොලේ යන්න තියෙන හංදා බයිසිකලේ මිදුලෙම නවත්තලා බඩගින්නේ දියවෙන්න යන බඩට මොනව හරි දාගන්න කුස්සියට යනවා. එතකොට කුස්සියෙං එලියෙ ඉඳං චියනයි, බෑණයි “ඥියව්“ කියනවා. 

“මට නං දැන් සැමන් කන්න බෑ“

චූටි මැණිකෙ කියනවා.

“මටත් බෑ වගේ අනේ“

මාත් කියනවා. අපි දෙන්නට දෙන්නා එහෙම රැවටිලා

“එහෙනං ඔය ඇතිලියෙ ඉතුරු ටික අනලා අර දෙන්නට දෙමු“

කියල තීරණය කරගන්නවා. ඒ විදිහටම ඒ දානෙ පංගුවත් හදලා දෙකට බෙදලා කොල දෙකකට දාලා රණ්ඩු කර නොගන්නා දුරකින් තියලා චියනාටත්, බෑණටත් දෙනවා. ඒ දෙන්නා “ලාබු ලාබු“ කියලා තමුංගෙ කොටස ඉටුකරද්දි අපි දෙන්නත් ඉතුරු හරියක් බඩට දාගෙන පොලේ යනවා. එදා හවසට පන්සලට ගිහිං මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා පිං අනුමෝදන් කරලා දානෙ අවසන් කරනවා.

****************************************************